රුසියානු ගුවන් හමුදා පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. ත්‍රස්ත නායක අබු බකාර් අල් බග්ඩාඩි මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය මැයි 28 දා රුසියානු ගුවන් හමුදාව රඛා ප්‍රදේශයේ අයි.එස්. සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් රැස්වන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ප්‍රහාරයන්ගෙන් අයි.එස්. ප්‍රධානීන් ඇතුළු 330 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වූ බව රුසියානු හමුදා ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රහාරයන්ගෙන් අනතුරුව අයි.එස්. නායකයා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැති අතර අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් ඉරාකයේ මොසූල් මුදා ගැනීම සඳහා සටන් පැවැති අවස්ථාවේදී අයි.එස්. නායකයා එම ප්‍රදේශයේ සිටි බවට වාර්තා වී තිබේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී අයි.එස්. නායකයා මිය ගිය බවට වාර්තාවන් පළවූ අතර මෙම ප්‍රහාරයෙන් අයි.එස්. නායකයාට හා ත්‍රස්ත නායකයින්ට සිදු වූ දේ පිළිබඳව ඉදිරියේදී තහවුරු වනු ඇත.










