මහින්දගේ බලවත් ඉල්ලීම මත මෝදි හමුවීමට අවස්ථාවක්

මහින්දගේ බලවත් ඉල්ලීම මත මෝදි හමුවීමට අවස්ථාවක්

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාව මුණගැසී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදුන් බව ඉන්දීය බලධාරීහු පවසති.

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ න්‍යායපත්‍රයේ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සඳහා වේලාව වෙන්කර තිබී නැති නමුත් මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා බලා අදාළ සාකච්ඡාවට වේලාව වෙන්කර දී තිබේ.

ඒ අනුව ඊයේ (11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව අදාළ සාකච්ඡාව සිදුව ඇත.

දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බවත් ගතවීගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව තමන් සතුටුවන බවත් විශ්‍රාමික ජනාධිපතිවරයා මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළ බවත් සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ද එක්වී සිට ඇති අතර ඉන්දී අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

මූලාශ්‍ර බීබීසී

Facebook
Twitter
LinkedIn