වෙන්දේසියේ විකුණන ලෙස මීට පෙර ඉල්ලා තිබූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව එයට හිමිකරුවෙකු නොමැති බව සනතා වූ මල්වාන ප්‍රදේශයේ පිහිටි අදි සුඛෝපභෝගී නිවස සහ ඉඩම රජයට පවරාගෙන මහජන සුභසිද්ධිය සඳහා යොදවන බවට පසුගිය දා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අධිකරණය කල්දමා තිබේ.
අදාළ නඩුව අද (23) කැඳවු අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය මෙම නියෝගය ලබාදෙමින් සඳහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව යම් දේපළක් රාජසන්තක කිරීමට හෝ බැහැරකිරීමට නඩු කටයුතු අවසන්ව තිබිය යුතු බවත් මීට වෙනස්ව ඒ සඳහා වෙනත් ප්‍රතිපාදන ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.
ඒ අනුව එවන් ප්‍රතිපාදන ඇත්නම් ඒ බව සති දෙකක් ඇතුළත අධිකරණය දැනුවත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 06 දිනට කල් තබා ඇත. නිතිපති ප්‍රතිපාදන දැක්විම සඳහා නිතිපතිට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.










