කුරුණෑගල හෙල්ත් ෆුට් පෞද්ගලික ආයතනයේ අන්තර් සමාගම් සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් උරණ වූ එම ආයතනයේ පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ගත් 38කට අධික සේවක පිරිසක් අද (22) සිට සේවයෙන් ඉවත් කර තිබේ.
මෙයට විරෝධය දක්වමින් එහි සේවකයින් මේ වනවිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
මෙම වෘත්තීය සමිතිය මීට මාස තුනකට පමණ පෙර ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙල්ත් ෆුට් පෞද්ගලික ආයතනයේ පාලනාධිකාරිය ලිඛිතව දැනුවත් කිරීමටද අන්තර් සමාගම් සේවක සංගමය කටයුතු කර තිබේ.
එමෙන්ම වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් පාලනාධිකාරියට දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර පාලනාධිකාරිය ලිඛිතවම එයට එකඟතාවයද පළ කර තිබී ඇත.
කෙසේ නමුත් පාලනාධිකාරිය වෘත්තීය සමිති නායකයන් වෙත පසුව දන්වා ඇත්තේ සමාගමේ සභාපතිවරයා එම සාකච්ඡාව සඳහා එකඟ නොවූ බැවින් එය නොපැවැත්වෙන බවය.
ඊට දින කිහිපයකට පසු පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම්, උප ලේකම් හා භාණ්ඩාගාරික යන සිව්දෙනාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබේ. එයට එරෙහිව එහි සේවකයන් වර්ජනයක නිරතව ඇති අතර ඉන් පසු එම නිලධාරීන්ව නැවත සේවයේ පිහිටුවා ඇත. කෙසේ නමුත් පසුව පාලනාධිකාරිය විසින් වර්ජනයේ නියුතු සියළුම සේවකයින්ව සේවයෙන් ඉවත් කර තිබේ.
මේ වනවිට කම්කරු අධිකරණයේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර සේවකයින් හෙල්ත් ෆුට් පෞද්ගලික ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසූවේ හෙල්ත් ෆුට් පෞද්ගලික ආයතනය ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි විදේශීය සමාගමක් වන අතර එම සමගමක් විසින් ගෙන යන මෙම අත්තනෝමතික පාලනයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය.













