උඩුවේ හිමියන්ට එරෙහි අලි නඩුව විභාගයට

උඩුවේ හිමියන්ට එරෙහි අලි නඩුව විභාගයට

සොරකම් කළ අලි පැටවෙකු බව දනිමින්ම එම අලි පැටවා නීතිවිරෝධීව තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 12 වැනිදා විභාග කිරිමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණය විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ පසුගියදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මෙම නඩු විභාගය තීරණය කර ඇත.

2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත්‍ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබාගන්නා ලදැයිද අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.

පොදු දෙපළක් වන අලි පැටවා නිසි බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතිපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නගා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම අලිපැටවා සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙමින් උඩුවේ හිමියන් ප්‍රකාශ කර තිබුනේ බල්ලන්, බලලුන් පන්සල්වල දමා යන්නා සේ මෙම අලිපැටවද තමන්වහන්සේගේ විහාරස්ථානයේ දමගොස් සිටියදී හමු වූ බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්