මිහිතලය මත ජීවත් වන මිනිසා ඇතුළු බොහෝ සතුනට ආහාර නොමැතිව ජීවිතය පවත්වා ගැනීමේ දින ගණන කෙසේ වුවද ජලය නොමැතිව ජීවය පවත්වා ගැනීමට නොහැකි බැවින් මිනිසා ඇතුළු සමස්ථ සත්ව ප්‍රජාවට ජලය අත්‍යාවශ්‍ය වන අතර පිරිසිදු පානීය ජලය අනර්ඝතම වස්තුවක්ව තිබේ.
ඒ නමුත් මිනිසාගේ නොසැලකිලිමත් භාවිතය හා අවිධිමත් සංවර්ධනය හේතුවෙන් මේ වනවිට එම මහඟු සම්පත බලවත් තර්ජනයකට හා අභියෝගයකට ලක්ව තිබේ. මුළු මහත් ලෝකය සතුව ඇති ජල ධාරිතාවෙන් මිනිසාට පානීය ජලය ලෙස පරිභෝජනයට ගත හැක්කේ 1% පමණක්ව ඇති තත්වයක් තුළ මෙම තත්වය තවත් බැරෑරුම්ව තිබේ.
ලෝකයටම අනතුරු අඟවමින් මේ වනවිට ඉන්දියාව තුළ මිනිස් ක්‍රියාකාරමක් හා කාර්මික අපද්‍රව්‍ය ජලමූලාශ්‍රවලට එකතු කිරීම හේතුවෙන් පිරිසිදු ජල සම්පත දැඩි අවධානමකට ලක්ව තිබේ. අතිශය බහුතරයක් ඉන්දියානුවන් සිය ගංගාවන් පූජනීයත්වයෙන් සලකන අතර ඔවුන්ගේම ක්‍රියාකාරීත්වය තුළ ගංගාවන් විශාල ප්‍රමාණයක් මේ වනවිට අපද්‍රව්‍ය වලින් පිරි දූෂිත තත්වයකට පත්ව තිබේ.
ඉන්දියාව තුළ බහුතරයක් ජනතාව දිළිඳු භාවයෙන් හා කුල පීඩනයට ලක්ව දුක්ඛිත ජීවිත ගතකරන අතර තමන්ගේ මිය යන ඥාතීන්ගේ පිලිස්සීමට නොහැකි සිරුරු ගංගාවන්ට ගෙනැවිත් දමනු ලැබේ. එසේම කාර්මීකරණය තුළින් එකතු වන විෂ රසායන අඩංගු අපද්‍රව්‍ය ගංගාවන් වෙත එකතු කිරීමත් නිසා ඉන්දියාවේ ප්‍රධාන ගංගා සියල්ලකම ජලය මේ වනවිට මිනිස් පරිභෝජනයට මෙන්ම වගාවන් සඳහා එක්කිරීමටද නුසුදුසු මට්ටමකට පත්ව ඇති බව පැවසේ.
මිහිතලයේ ජීවයේ රඳා පැවැත්මට තීරණාත්මක සාධකය වන පිරිසිදු ජල සම්පත මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් තුළ නැවත යථාතත්වයට පත් කළ නොහැකි ලෙස විනාශ කිරීම නිසා අනාගත පරපුරට බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවේ.










