මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනයේ උපාධිය ලැබූ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා නියෝග කර තිබුණේ අදාළ වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට නීතිමය බාධාවක් නොමැති බවයි.
එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා නීතිමය බලයක් පවතින බවද අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා සිටින්නේ අභියාචනාධිකරණය නිකුත් කළ නියෝග ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසත් ය.









