පසුගිය කන්නයේ වගා හානි වූ වී සහ ගොඩබෝග සඳහා රුපියල් පනස් දහසක (රු. 50,000) වන්දියක් ඉල්ලා ගොවි ජනතාව විවිධ ප්‍රදේශවලින් පාරට බසිමින් සිටි තත්වයක් යටතේ ආණ්ඩුව මසකට රුපියල් දසදහස (රු. 10,000) බැගින් මාස 04කට රුපියල් හතලිස් දහසක් (රු. 40,000) ලබා දීමට පොරොන්දු වූ නමුත් මේ වනතෙක් එම වන්දි මුදල ලැබී නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවට චෝදනා කරයි.
කන්න ආරම්භය සඳහා අවශය ප්‍රමාණයට වැව් සහ ජලාශවල ජලය තිබුණද පාලකයන්ගේ හා නිලධාරීන්ගේ වැරිදි පරිපාලනය හේතුවෙන් එම ජලය කලට වේලාවට ගොවීන් වෙත මුදා හැරීම නොකළ බැවින් වගා හානි වීමේ තත්වය උත්සන්න වූ බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
එම නිසා ආපදාවෙන් හානියට පත් ගොවීන් සඳහා ලැබිය යුතු සහන කප්පාදුවකින් තොරව ඔවුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් මාසක දීමනාව මාස 05 දක්වා වැඩි කළ යුතු බවත් එසේ නොවන්නේනම් රටේම ගොවිජනාතව සමග ජනාධිපති මන්දිරයට පැමිණෙන බවත් ඒ අවස්ථාව උදා නොකර වහාම වන්දි ලබාදීම කළයුතු බවත් නාමල් කරුණාරත්න මහතා පවසයි.
එහිදී නාමල් කරුණාරත්න මහතා තවත් අනාවරණයක් සිදු කරමින් පවසා සිටියේ ආපදාවෙන් පීඩාවට පත් ගොවීන් සඳහා බෙදාදීම වෙනුවෙන් ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් සහනාධාර ලෙස මෙරටට ලැබුණු සහල් කිලෝ පන්ලක්ෂ හැටදෙදහස (මෙ.ටො 5,620,000) සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බව ය.
ඒ මහතා මෙ බව අනාවරණය කර සිටියේ ඊයේ (11) දඹුල්ලේදී පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා එහි ලේකම් ටී.බී. සරත් මහතා, ජාතික කමිටු සාමාජික, දිගාමඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභිත සුනිල් රණවීර මහතාද එක් වී සිටියහ.











