සුරබිඳෙනක් වගේ ආර්ථික සම්පත් විකුණන්න අපි ඉඩ දෙන්නේ නැහැ…

“විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයත් පොදු ජනතාවත් සහභාගී කරගෙන සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට අප කටයුතු කරනවා. පෙබරවාරි 01වැනිදා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් වරාය ආශ්‍රිතව වරාය වෘත්තීය සමිති මෙන්ම අනෙකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව දියත් කිරීමට මේවනවිට තීරණය කර තිබෙනවා. පක්‍ෂයක් ලෙස අප එම කාර්යයට මැදිහත් වන අතර ජනතාව ලෙස සියලු දෙනාම එක්වී මෙම විනාශකාරී ප‍්‍රයත්නය නතර කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග, කළු පටි ව්‍යාපාර, උද්ඝෝෂණ ආරම්භ කරනවා. මේ ආණ්ඩුව රාජ්‍ය දේපළ විකිණීම වේගවත් කොට තිබෙනවා. එනිසා ඊට එරෙහිව අපත් සටන් ක්‍රියාමාර්ග වේගවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් පොදු ජනතාවට ආරාධනා කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

බත්තරමුල්ල, පැලවත්තහි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ආර්ථික ප‍්‍රතිපත්තියේ එක් ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පත්වෙලා තිබෙනවා. රටක ආර්ථික උපායමාර්ගය තීරණය කිරීමේදී එම රටේ පිහිටීමට වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ඒ අනුව අපේ රටේ භාණ්ඩ හුවමාරුවේදී නාවික කේන්ද්‍රයක් ලෙස වරායන්ට අපේ රටේ ආර්ථිකයේ වැදගත් තැනක් හිමිවෙලා තිබෙනවා.

ලංකාවේ කොළඹ වරාය ලෝකයේ රටවල්වලින් 26වැනි ස්ථානය ලෙස වැදගත් ස්ථානයක් හිමිකොටගෙන තිබෙනවා. එම ප‍්‍රධාන වරායවල් 26 අතරේ චීන වරායන් 08ක් ජපාන වරායන් දෙකක්, මැලේසියානු වරායන් දෙකක් ඇතුළත් වෙනවා. ඒ අනුව ලෝකයේ ප‍්‍රධාන වරායවල් පිහිටි රටවල් අතර 14වැනි ස්ථානය කොළඹ වරායට හිමිවී තිබෙනවා. චීනය විශාල ජනතාවක් සහිත විශාල රාජ්‍යයක් වීම හේතුකොටගෙන විශාල වරායවල් පිහිටීම පිළිගත හැකි කරුණක්. නමුත් ලංකාව කුඩා රටක්ව තිබියදී කොළඹ වරාය වැදගත් තැනක් උසුලන්නේ කුමක් නිසාද? විශාල වෙළඳපොළක් නිසා නොවේ. අපට සිටින්නේ කුඩා ජනගහනයක්. අපේ රටේ වසරක ආනයන වියදම ඩොලර් බිලියන 20ක්. අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. නිෂ්පාදනය කඩා වැටීම හේතු කොටගෙන අපට හිමිවන්නේ කුඩා අපනයන ආදායමක් පමණයි. ඒ අනුව අපේ මුළු වෙළඳපොළ ඩොලර් බිලියන 30කට සීමා වෙනවා. ඒ අනුව ලංකාවේ වරාය මැදිහත් වන්නේ කුඩා වෙළඳපොළකටයි. එසේ තිබියදී අපේ රට 26වැනි ස්ථානයේ තිබෙන්නේ ප‍්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසයි. අපේ රටට ආසන්නව පිහිටි විශාල රාජ්‍යයක් වූ ඉන්දියාව භාණ්ඩ හුවමාරුවේදී කිසිදු වරායක් මැදිහත් වන්නේ නැහැ. කොළඹ වරාය ප‍්‍රමුඛස්ථානයක් ගන්නේ ප‍්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසයි.

නැව් ගමනාගමනයට රටක පිහිටීම ඉතාම වැදගත්. ඒ අනුව ලංකාවේ වැදගත්ම වරාය කොළඹ වරායයි. සුළු වරායන් ලෙස ගාලු වරායත් හම්බන්තොට වරායත් සංවර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම ස්වභාවිකව පිහිටි ගැඹුරුම වරාය ලෙස ත්‍රීකුණාමලය වරාය අපට තිබෙනවා. ඔළුවිල්, කංකසන්තුරේ, පේදුරුතුඩුව වැනි කුඩා වරායවල්ද අපට තිබෙනවා. ඒ අනුව නාවික කේන්ද්‍රයක් ලෙස අපේ රට සංවර්ධනය කිරීමට වැඩි විභවයක් අපට තිබෙනවා. එසේ තිබියදී හම්බන්තොට වරාය විකිණීමට මේ වනවිටත් පිඹුරුපත් සකස්කොට අවසන්. ජනතාවගේ විරෝධයත් පක්‍ෂයක් ලෙස අපගේ විරෝධයත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයින්ගේ රැස්වීම්වලදී ඇතිවූ විරෝධයත් නිසා ගිවිසුම් ප‍්‍රමාද වී තිබෙනවා. ඒ වගේම අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා. මේ අතර සරත් ෆොන්සේකා ඇමතිවරයා විසින් පසුගියදා ප‍්‍රකාශයක් කොට තිබුණා ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා කියලා. මෙය අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී හෝ ඔහු අමාත්‍යවරයෙක් ලෙස කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කොට තිබෙන කරුණක් තමයි සරත් ෆොන්සේකා ඇමතිවරයෙක් ලෙස මෙලෙස ප‍්‍රකාශ කර සිටින්නේ. ඔබ දන්නවා, කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද සියලු තීන්දු තීරණ කැබිනට් ප‍්‍රකාශකයා රටට ඉදිරිපත් කරන්නේ නැහැ. ආණ්ඩුව ජනතාවට හොඳ යැයි සිතන ඒවා ප‍්‍රකාශ කරන අතර නරක ඒවා හංගනවා. එනිසා මීට පෙර ආණ්ඩුව ලෙස මෙවැනි සාකච්ඡා ආරම්භකොට ඇති බව ප‍්‍රකාශ කොට නැහැ.

ත්‍රීකුණාමලය ස්වභාවික වරායක් ලෙස ඉතාම වැදගත් වරායක්. එම පළාත සංවර්ධනයේදී ඉතාම වැදගත්කමක් උසුලනවා. එම වැදගත්කම නිසාම අතීතයේදී ත්‍රීකුණාමලය වරායට විදේශ බලපෑම් තිබුණා. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී වරාය සංවර්ධන කටයුතු ඇමරිකාවට දෙන්න ගියා. ඒ වෙලාවේදී උතුරේ පැවති ගැටලුව පදනම් කරගෙන ඉන්දියාව මැදිහත් වෙලා ඉන්දු-ලංකා ගිවිසුමක් ගැහුවා. එම ගිවිසුමේ ත්‍රීකුණාමලය වරාය සම්බන්ධයෙන් ප‍්‍රධාන කරුණු ඇතුළත් වෙලා තිබුණා. ත්‍රීකුණාමලය වරායේ කිසිදු කටයුත්තක් වෙනත් රාජ්‍යයක පැවරීමට නොහැකි බව ගිවිසුමේ සඳහන් කොට තිබුණා. ඒ වගේම පෙන්ටගනයේ ආරක්‍ෂක රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද සැලසුම් සිතියමේ එක් ස්ථානයක් බවට ත්‍රීකුණාමලය නම් කොට තිබුණා. එම නිසා ආර්ථික වශයෙන් මෙන්ම යුදමය වශයෙන්ද ත්‍රීකුණාමලය වරාය ඉතාම වැදගත් මධ්‍යස්ථානයක්. එවැනි වරායක් තමයි අද ඉන්දියාවට දෙන්න යන්නේ.

මේ අතර තමයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ආණ්ඩුව විකුණන්න හදන්නේ. කොළඹ වරායේ ප‍්‍රධාන පර්යන්ත පහක් තිබෙනවා. දකුණු පර්යන්තය, නැගෙනහිර ජැටිය, ජය පර්යන්තය, සමගි සහ රැජින ජැටිය ඒ අතර වෙනවා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ රැජින ජැටිය පීඇන්ඩී ඕ සමාගමට දුන්නා. මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී දකුණු පර්යන්තය චීනයට දුන්නා. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 10,800ක් වියදම් කොට සංවර්ධනය කළා. 2001 වනවිට සියලූ බහාළුම්වලින් 86%ක් ජය බහළුම් පර්යන්තය හරහා මෙහෙයවනු ලැබුවා. පීඇන්ඩී ඕ සමාගමට අයත් රැජින ජැටියෙන් මෙහෙයවනු ලැබුවේ 14%ක් පමණයි. 2016 වනවිට වරාය අධිකාරිය සතුව තිබූ 86%ක් වූ මෙහෙයුම් 38% දක්වා පහළ බැස්සා. පීඇන්ඩී ඕ සමාගමට හිමිව තිබූ 14% ප‍්‍රමාණය 28% දක්වා ඉහළ ගියා. වසර 3ක් ඇතුළත චීනයට හිමි දකුණු පර්යන්තයේ මෙහෙයුම් 34% දක්වා වැඩිවුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබුණු බහාළුම් මෙහෙයුම් අඩු වෙන්නේ ඇයි? මේ වනවිට මීටර් 30ක් දිග මීටර් 14ක් ගැඹුරු නැව් ප‍්‍රමාණය 50% දක්වා වැඩිවී තිබෙනවා. එම නිසා ජය බහළුම් පර්යන්තය සහ සමගි පර්යන්තයට එම නැව් ඇතුළු කිරීමට හැකියාවක් නැහැ. නැගෙනහිර ජැටියට පමණයි එම නැව් ඇතුළුවීමට හැකියාව තිබෙන්නේ. මිලියන 10,800ක් වියදම් කොට සංවර්ධනය කළ නැගෙනහිර ජැටිය තමයි ආණ්ඩුව විකුණන්න හදන්නේ.

රනිල්ගේ ආර්ථික සංවර්ධන කමිටුව තීරණයක් ගන්නවා, නැගෙනහිර ජැටියෙන් 15%ක් රජය සතුව තබාගෙන 85%ක් විකුණා දමන්න. වරාය අධිකාරිය සතුව තිබෙන ගැඹුරු එකම ජැටිය නැගෙනහිර ජැටිය පමණයි. එහි මෙහෙයුම් කටයුතුවලට දොඹකර සවිකරන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කියනවා. දොඹකර සවිකරන්න සල්ලි නැහැ කියන වරාය අධිකාරිය සතු මුදල්වලින් සූරියවැව පිටිටනිය ඉදිකිරීමට රුපියල් මිලියන 5027ක් වැයකළා. ගාලු වරායේ දිය කඩනයක් ඉදිකිරීම වෙනුවෙන් මිලියන 6,000ක ණයක් ගත්තා. එහි කොන්ත‍්‍රාත් කටයුතු චීන සමාගමට ලබාදුන් අතර මේ වනවිට මිලියන 547ක් වැයකොට තිබෙනවා. නමුත් 2008 සිට එහි ඉදිකිරීම් කටයුතු නවත්වා දමා තිබෙනවා. අෂ්රොෆ් වරාය ඇමති කාලයේ ඔළුවිල් වරාය හදන්න යුරෝ මිලියන 46ක ණයක් ගත්තා. රුපියල් මිලියන 531ක් වරාය අධිකාරියෙන් වැයකළා. ඊට අමතරව නාවික අභ්‍යාස විද්‍යාලයක් ඉදිකිරීමට රුපියල් මිලියන 800ක් වැයකළා. එම අභ්‍යාස විද්‍යාලයේ එක දරුවෙක්වත් ඉගෙන ගන්නේ නැහැ. ඔළුවිල් වරාය විවෘත කර වසර 5ක් ගතවන අතර මේ වනවිට එක නැවක්වත් ඇවිත් නැහැ.

ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව, වැරදි පිළිවෙත් තමයි වරායට මේ බර දරන්න වෙලා තිබෙන්නේ. 2015 වසරේ පමණක් හම්බන්තොට වරායේ පාඩුව මිලියන 37,000යි. එම වරාය සඳහා කිසිදු සංවර්ධන උපායමාර්ගයක් නැහැ. ආණ්ඩුව කොළඹ වරායේ රැජින ජැටිය අත්හැරියා. දකුණු ජැටිය චීනයට දුන්නා. නැගෙනහිර ජැටියේ පමණයි මෙහෙයුම් කටයුතු කරන්නේ. සියලු වරායවල වියදම දරන්නේ කොළඹ වරායේ ආදායමින්. ලංකාවට හිමි ආර්ථිකයේ වැදගත්ම පංගුව රනිල් වික‍්‍රමසිංහ සමාගම්වලට විකුණන්න හදනවා. චන්ද්‍රිකාගේ කාලයේ රැජින ජැටිය දුන්නේ ආණ්ඩුවට 49%, සමාගමට 51%ක් ලෙසයි. අයිතිය 49%ක් තබාගෙන ආණ්ඩුවට පරිපාලනයට මැදිහත් වෙන්න බැරිවුණා. එසේ තිබියදී නැගෙනහිර ජැටියත් 15%ක් තබාගෙන ආණ්ඩුවට ලාභාංශයක්වත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මහජනතාවගේ දේපොළක් ලෙස සංවර්ධනය කළ හැකි ආර්ථිකයේ සුරබිදෙනක් ලෙස පවතින මෙවැනි ස්ථාන විකිණීම වහාම නතරකළ යුතුව තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඊට සූදානමින් ඉන්නවා. අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා ඔබ මීට එරෙහිව පෑන හසුරුවන්න කියලා. මේ හවුල් ආණ්ඩුවේ ප‍්‍රයත්නය නතර කළ යුතුව තිබෙනවා. වරාය ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංගගෙන් අපි ඉල්ලනවා මේ විකිණීමේ කි‍්‍රයාවලියට මැදිහත් වෙලා අපකීර්තිමත්ම වරාය ඇමතිවරයා වෙන්න එපා කියලා. ඔහුට ක්‍රිකට් ක්‍රිඩාව නිසා තිබෙන කීර්තිය ඇමතිවරයෙක් ලෙස අපකීර්තිමත් කරගන්න එපා කියලා අපි කියනවා.

එම විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයත් පොදු ජනතාවත් සහභාගී කරගෙන සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට අප කටයුතු කරනවා. පෙබරවාරි 01වැනිදා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් වරාය ආශ්‍රිතව වරාය වෘත්තීය සමිති මෙන්ම අනෙකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව දියත් කිරීමට මේවනවිට තීරණය කර තිබෙනවා. පක්‍ෂයක් ලෙස අප එම කාර්යයට මැදිහත් වන අතර ජනතාව ලෙස සියලු දෙනාම එක්වී මෙම විනාශකාරී ප‍්‍රයත්නය නතර කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග, කළු පටි ව්‍යාපාර, උද්ඝෝෂණ ආරම්භ කරනවා. මේ ආණ්ඩුව රාජ්‍ය දේපළ විකිණීම වේගවත් කොට තිබෙනවා. එනිසා ඊට එරෙහිව අපත් සටන් ක්‍රියාමාර්ග වේගවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් පොදු ජනතාවට ආරාධනා කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම් මේ වනවිට නතර වී තිබෙනවා. ආණ්ඩුව මේ වනවිට සිදුකොට තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී කර්මාන්ත පුරයක් සඳහා පවුල් 1100කට ආසන්න ප‍්‍රමාණයක් ඉවත් කොට පවරා ගන්නා ලද භූමියේ මුල් ගලක් තැබීම පමණයි. අක්කර 15,000ක් ඉඩම් පවරා ගැනීම තාවකාලිකව නතර වී තිබෙනවා. තාවකාලිකව නතර කොට තිබෙන එම කි‍්‍රයාමාර්ග ස්ථිර ලෙස නතර කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ඉතිරි වී තිබෙන්නේ උද්ඝෝෂණ, විරෝධතා, සටන් ක්‍රියාමාර්ග පමණයි. ඊට අමතරව තවත් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග නිට්ටාවටම නතර කිරීමේ බෙහෙතක් ලෙස එවැනි ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතුව තිබෙනවා.

වරායක් ආණ්ඩුව සතුව තිබෙන විට නැව් නොපැමිණීමටත් පෞද්ගලික සමාගමක් සතුව තිබෙන විට පැමිණීමටත් කිසිදු හේතුවක් නැහැ. මොකද, වරායකට නැව් ඇතුළත් වීමේදී වරායේ අයිතිය පිළිබඳව ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ආණ්ඩුව සතුව තිබෙන විට පාඩු ලබන වරායක් කවදාකවත් සමාගමක් විසින් මිලට ගන්නේ නැහැ මොකද, සමාගමක ප‍්‍රමුඛම අරමුණ වී තිබෙන්නේ ලාභයයි. එනිසා මෙම සම්පත් විකිණීමේ දිශාවට තමයි ආණඩුව සාකච්ඡා ගොඩනගලා තිබෙන්නේ. මේ ඉන්නේ බැරි බැරියා රෝගය වැළඳුණු පාලකයින්. ඔවුන්ට ආර්ථික සැලැස්මක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ ජීවත් වන්නේ 80 දශකයේ. ඔහු ජේ.ආර්ගේ අවතාරයක්.

මහින්ද රාජපක්‍ෂලාගේ ඒකාබද්ධ විපක්‍ෂය සහ අප අතර වෙනස සොයා ගැනීම ඉතාම පහසු දෙයක්. ඔවුන් හොරකම් කරනවා; අපි හොරකම් කරන්නේ නැහැ. ඔවුන් හොරු රකිනවා; අපි පෙනී සිටින්නේ හොරු ඇල්ලීම වෙනුවෙන්. ඔවුන් බොරු දේශප්‍රේමයක් ගැන කතා කරනවා; අපි සැබෑ ලෙසම මේ රටේ ජනතාවට ආදරය කරනවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනවා; අපි ආරක්‍ෂා කරනවා. ඔවුන් පවුල වෙනුවෙන් රාජ්‍ය දේපල හොරකම් කරනවා; අපි පොදු ජනතාව වෙනුවෙන් දේපළ බෙදන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන් රටේ ජනතාවගේ ධනය හිතවතුන් පිරිසක් අතර කේන්ද්‍රගත කරගන්න හදනවා; අපි ජනතාවගේ ධනය පෙරළා ජනතාවට සේවය කරන්න යොදාගන්නවා. ඔවුන් අපේ  රටේ අධ්‍යාපනය කප්පාදු කරමින් ඔවුන්ගේ පැලැන්තියේ දරුවන්ට පමණක් අධ්‍යාපනය, සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ලබාගන්න උත්සාහ කරනවා; අපි මේ රටේ පොදු ජනතාවගේ අධ්‍යාපනය සහ නිරෝගිසම්පන්න ජීවිතයක් උදෙසා පෙනී ඉන්නවා. ඔවුන්ගේ ජීවිත මජර ජීවිත බවට පත්වෙලා තිබෙන අතර අපි ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. එනිසා ඔවුන් සහ අප අතර වෙනස අහසට පොළොව වගේ.

පසුගියදා විජේදාස අමාත්‍යවරයා ජාති ද්‍රෝහීන් බවට පත්වී තිබුණු නාම ලේඛනයක් ජාතික වීරයින් ලෙස නම් කළ යුතු බවට යෝජනාවක් ගෙනාවා. විජේදාසගේ එම දේශප්‍රේමී ලැයිස්තුවේ විමල් වීරවංශගේ නම නැහැ. තුම්මුල්ලේ පද්මේ, කුඩු නිහාල්, මාළු නිහාල්, සොත්ති උපාලි, මංකොල්ලකාරයින්ගේ ලැයිස්තුවක් දේශෙප්‍ර්මී ලැයිස්තුවක් බවට පත්කළහොත් ඔවුන් අතර ඉදිරියෙන් සිටීමට විමල් වීරවංසට හැකියාව තිබෙනවා. පල් හොරුන් කොහොමද දේශප්‍රේමීන් වෙන්නේ? මේක තමයි අද අපේ රටේ තිබෙන මජර දේශපාලනය. තමන්ගේ තක්කඩි හොරකම් වසා ගැනීමට දේශෙප්‍ර්මය සළුපිළි ලෙස යොදා ගනිමින් තිබෙනවා. කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන හොරා කාපු අය කොහොමද දේශප්‍රේමය ගැන කතා කරන්නේ? මර්වින් සිල්වා, මහින්ද රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ වැනි සම් ලැයිස්තුවකට විමල් වීරවංසගේ නමත් ගැලපෙනවා.

මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ අවබෝධයකට අනුව තමයි මහ ඇමතිවරු මහින්ද රාජපක්‍ෂ මුණ ගැසෙන්නේ. මොකද, මෙම මහ ඇමතිවරුන්ගේ පණ නල රැඳී තිබෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මතයි. ඔහුගේ අනුදැනුමකින් තොරව  මහ ඇමතිවරුවන්ට මහින්ද රාජපක්‍ෂ සමඟ සාකච්ඡාවකට යන්න බැහැ. අද මෛත්‍රීපාල ජනාධිපතිවරයා මුහුණ දී සිටින තත්වය වෙන්නේ මහින්ද සමඟ ඡන්දයකට ගොස් එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩු කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට. ඒ නිසා ඔවුන්ට මේ මඩ වළේ ලගින්නත් පුළුවන්. ගොඩ එන්නත් පුළුවන්. මේ රඟපෑම තවදුරටත් ජනතාව බලාගෙන ඉන්න ඕනැද? එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර යාපා කලින් ආණ්ඩුවේ ඉඳලා කියපු දේවලුත් මේ ආණ්ඩුවේ ඉඳලා කියන දේවලුත් පමණක්ම ඇති ජනතාවට තීරණයක් ගන්න. මේ රඟපෑම් ජනතාව තව කොයි තරම් කාලයක් බලාගෙන ඉන්නද? මෙම නාටකයම ඇති ජනතාවට තීරණයක් ගන්න. පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමට ජනතාවට මේ උදාහරණයම ඇති. එම පුළුල් ජනතා ව්‍යාපාරය වෙනුවෙන් තමයි අපි දේශපාලනය කරමින් ඉන්නේ.

ඔවුන් හැමදාම දේශපාලනය කරන්නේ රට බේරගන්න කියලා ජනතාවට ප‍්‍රකාශ කළා. 2001දී චන්ද්‍රිකාගේ පැත්තේ හිටපු බන්දුල, එස්.බී, නන්දිමිත‍්‍ර, ජී.එල්. රනිල් සමග වාඩිවුණා. එතකොටත් කිව්වේ රට බේරගන්න ආව කියලා. 2005 මහින්ද බලයට පත්වුණාට පස්සේ කරු, රාජිත, ලොකුගේ, පී. දයාරත්න, කෙහෙළිය මහින්දගේ ඔඩොක්කුවට ආවා. එතකොටත් කිව්වේ රට බේරගන්න ආව කියලා. මේ මහත්තුරු වගේම එස්.බී., සිසිල්, අනුර යාපා අනෙක් පැත්තේ වාඩි වෙන්නේ රට බේරගන්න කියලා. සෑම පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රීවරුන් අයවැය සම්මත කර ගැනීමට එජාපයේ සහාය ගන්නවා. එතකොටත් කියන්නේ රට වෙනුවෙන් කියලා. ජනතාව හමුවේ තිබෙන අභියෝගය තමයි මේ කට්ටියගෙන් රට බේර ගන්නේ කොහොමද කියන එකයි. 

අද දිනමිණේ ප‍්‍රධාන පුවත බවට පත්වෙලා තිබුණේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් දාන එකයි. එම පැමිණිල්ල දාන්නේ තිනියාවල පාලිත හිමියෝ. දැන් එක් එක් අවස්ථාවලදී හාමුදුරුවරු පෙරට එන තත්වයක් තිබෙනවා. බෙංගමුවේ නාලක හිමියෝ විමල් අත්අඩංගුවට ගන්නකොට පිරිත් නූල් බඳිනවා. උන් වහන්සේ මහින්ද රාජපක්‍ෂගේ උපදේශක තනතුරක් දැරූ අතර වාහනයක් ලබාදී තිබුණා. 60,000ක පඩියක් ලබා දුන්නා. රාවණා බලයට සම්බන්ධ හිමි නමක් මේ වගේම විවිධ කටයුතුවල පෙරට එනවා. උන් වහන්සේගේ පැටිකිරිය බැලුවොත් විමල් වීරවංසගේ වාහන ලැයිස්තුවේ වාහන විශාල ප‍්‍රමාණයක් භාවිත  කරපු හිමි නමක්. ඒ වගේම උන් වහන්සේ විමල් වීරවංසගේ අමාත්‍යාංශය යටතේ තිබුණු ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්. මීට පෙර යම් හිමි නමක් ප‍්‍රකාශයක් කළොත් එම ප‍්‍රකාශය තිබුණු බුද්ධ වචනය මොකකද්ද කියලා අපි හොයලා බැලුවා. දැන් හිමි නමක් ප‍්‍රකාශයක් කරනකොට අපි හොයලා බලන්නේ උන් වහන්සේ ඉන්නේ මොන අධ්‍යක්‍ෂ මණ්ඩලයේද කියලයි. තිනියාවල පාලිත හිමියෝ ලංකා හොස්පිට්ල් එකේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්. උන් වහන්සේට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශාල දැනුමක් තිබෙන බව පේනවා. උන් වහන්සේ නඩුවක් ගොනුකොට තිබෙනවා බැඳුම්කර ගනුදෙනුව නීත්‍යානුකූලව සිදුවුණා කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට තිබුණේ තිනියාවල පාලිත හිමියන්ට ලංකා හොස්පිට්ල් එකේ අධ්‍යක්‍ෂ තනතුර වෙනුවට මහ බැංකු අධිපති තනතුර ලබා දෙන්නයි. හෙට පාර්ලිමේන්තුවේ බැඳුම්කර ගනුදෙනුවේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙනවා. ඒක යෝජනා කළේ අපේ පක්‍ෂයයි. අද නඩුව දාලා දිනමිණ ප‍්‍රධාන පුවත බවට පත්වෙන්නේ මෙම විවාදය නතර කිරීමේ අරමුණක් ලෙසයි. හෙට කිරිඇල්ල ස්ථාවර නියෝග අනුව මෙම විවාදය පවත්වන්න බැහැ කියලා කතානායකට යෝජනා කරයි. මේ රනිල්ගේ තිර පිටපතක්. බැඳුම්කර වාර්තාව ගැන විවාදය නතර කිරීමෙන් මෙම වංචනික උපක‍්‍රමයට අප ඉඩ දෙන්නේ නැහැ.”

Facebook
Twitter
LinkedIn