සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විසින් ඊයේ (23) නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර දිසානායකගේ සහ විදේශ ඇමැති විජිත හේරත්ගේ සෘජු මැදිහත්වීම මත සිදුවන මෙම තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම යන දෙදෙනාම රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීම විශේෂත්වයකි.
අනෝජන්ගේ ජීවිතය ඉල්ලා විශේෂ රාජ්‍යතාන්ත්‍රික දූතයන් ලෙස මොවුන් දෙදෙනා කඩිනමින් සවුදි අරාබියට යැවීමට රජය පසුගිය 22 දා තීරණය කළ අතර, ඒ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙම මෙහෙයුමේ මූලික පියවර ලෙස ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන නීතීඥයන් දෙපළ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු මෙන්ම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් නෂීඩ් ඊයේ දහවල් මාලදිවයිනේදී හමුවී අදාළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
මොහොමඩ් නෂීඩ් යනු මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයාය. එමෙන්ම ඔහු ප්‍රකට දේශපාලඥයකු සහ ක්‍රියාකාරිකයකු ලෙසද ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වූ නායකයෙකි.
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපති පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජයට බරපතළ ප්‍රකාශයක් වුවද, අසරණ තරුණයකුගේ ජීවිතය වෙනුවෙන් තමන් ඔහු පිළිබඳව මානුෂීයව පෙනී සිටින බවයි. එමෙන්ම ඔහුගේ ජීවිතය ගලවාගැනීම සඳහා තමාගෙන් දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බවටද හිටපු ජනාධිපති මෙහිදී සහතික වී තිබේ.
මාලදිවයිනේදී අද පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කළේය.










