පාර්ලිමේන්තුවේවත් විනිසුරුවරුන්ට අවලාද නගන්න බැහැ… ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්…

පාර්ලිමේන්තුවේවත් විනිසුරුවරුන්ට අවලාද නගන්න බැහැ… ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්…

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පවා කුමන හෝ අධිකරණයක විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් කතා කිරීම අවලාද නැගීම තහනම් බව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්,

“පාර්ලිමේන්තුව තුළ දීත්, ඉන් පිටත දීත් විවිධ පුද්ගලයන් විසින් රටේ තුන් වන පුරවැසියා වන අග්‍රවිනිශ්චයකාරතුමාට විවිධ අපහාස කිරීම් කරනවා. පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග 82 යටතේ කුමන හෝ අධිකරණයක විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් කතා කිරීම තහනම්. විපක්ෂයේ මන්ත්‍රීවරියක් අග්‍රවිනිශ්චයකාරතුමා සම්බන්ධයෙන් නින්දිත ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදුරක තිබෙනවා. එය කිසිවකුට අනුමත කළ නොහැකියි. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කිසිවක් නොකර සිටීම නිසා මහජනතාව තුළ අධිකරණ පද්ධතියත් සමස්ත පරිපාලන ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබෙනවා. මේ ප්‍රශ්න මතුවී තිබෙන්නේ 22 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී තිබෙන කතිකාව තුලයි. එම සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අධිකරණය වෙත නඩු 20කට වඩා වැඩි ප්‍රමාණයක් ගොනුවී තිබෙනවා. ඒවා සති තුනක් ඇතුළත අසා නිම කොට එහි වාර්තා ලැබීමට නියමිතයි. එහෙත් අග්‍රවිනිශ්චයකාරතුමාට එල්ල කර තිබෙන මඩ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතුයි.

රටේ පාලනය විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන කුලුණු තුනක් මත පවතින්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට, පත්වන විනිශ්චයකාරතුමන්ලා අවුරුදු 20ක් 25ක් අත්දැකීම් තිබෙන හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නැතිනම් මහේස්ත්‍රාත් අධිකරණයක සිට අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණි ඉතා පළපුරුද්දක් සහිත පුද්ගලයන්. ඔවුන් සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශ කිරීම නිසා රටේ පැවැත්මට විශාල ලෙස බලපෑමක් සිදු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඕනෑම කෙනෙකුට පක්ෂ වීමට හෝ විරුද්ධ අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා. නමුත් ඒ මත රටේ අග්‍රවිනිශ්චයකාරතුමාට පරිභව කිරීම, ඔහුට විරුද්ධ අසත්‍ය ප්‍රකාශ කිරීම සම්පූර්ණ වරදක්. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් අසත්‍ය ප්‍රකාශ කරන අයවලුන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළින්ම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. එවැනි ක්‍රියාමාර්ගයකට නොගියහොත් රටේ සම්පූර්ණ අධිකරණ පද්ධතියත් එහි පරිපාලනයත් කඩා වැටෙන බව ප්‍රකාශ කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්