මේ දිනවල දිවයිනට බලපා ඇති වියලි කාලගුණක තත්වය යටතේ මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට සිදුවී ඇති වගා හානි පරීක්ෂාවට ලක් කර කඩිනමින් වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
මෙහිදී, වී වගාවට අදාලව මොණරාගල දිස්ත්‍රික්කයේ අක්කර 1,334ක වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 960කට, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1,100ක වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 560කට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 435ක වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 782කට, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 1,004ක වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 505කට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2,200ක වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 1,900කට යනාදී වශයෙන් කුඹුරු ඉඩම් හානියට පත්වඇති බව වාර්තාවී ඇතැයිද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කරයි.
ඒ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි ඉහත දිස්ත්‍රික්කවල නිලධාරීන් හානියට පත් කුඹුරු ඉඩම්වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල් කාන්තද මෙම තත්වය යටතේ හානියට පත් වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදු කර ගොවීන්ට සිදුව ඇති වගා හානි ආවරණය කර දෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙහිදී හානියට පත්, වී සහ බඩ ඉරිඟු ඇතුළු බෝග 06ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක (රු. 100,000) මුදලක් උපරිම වශයෙන් අක්කර 05කට ගෙවීම රජය විසින් සිදුකරනු ලබයි.
ඒ අනුව, මෙම තත්වය යටතේ ඉහත දිස්ත්‍රික්කවලින් මේ වනවිට හානියට පත් කුඹුරු අක්කර 6,073ක ප්‍රමාණයකට අයත් වී ගොවීන් 4,707කට ආසන්න ප්‍රමාණයකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකරමින් පවතින බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසයි.
මෙම නියං තත්වය යටතේ ජලය හිඟකම හේතුවෙන් වී සහ බඩ ඉරිඟු ඇතුළු වගාවන් හානියට පත්ව ඇත්නම්, හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කළ යුතු අතර, එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කිරීම ගොවි මහතුන් විසින් සිදුකළ යුතුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීමමඟින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.
කෘෂි කර්ම පර්යේෂණ නිලධාරී හා ගොවි සංවිධානවල නිළධාරින්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ගොවිජන සේවා බල ප්‍රදේශයේ කසමඩුව, නෑටියගම තුලාන්වල වගා හානි පරීක්ෂා කිරීම පහති ඡායාරූපවලින් දැක්වේ.


















