ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය වාරික සහ පොලිය 2028දී ආපසු ගෙවීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇතැයි කියමින් බිල්ලෙක් මවන හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඔහුගේ පාලන කාලය තුළ ලබා ගන්නා ලද ගිනි පොලී විදේශ ණය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීම පිළිබඳව ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
රනිල් වික‍්‍රමසිංහ හඬා වැටිය යුත්තේ රටක් ලෙස විදේශ ණය අගුලට හසු කිරීම පිළිබඳව පාපෝච්චාරණයක් කර ගනිමින් බවද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඔහු අගමැති ධුරය දරමින් මහ බැංකුවද ඔහුගේ යටතේ තබා ගත් 2015 වසරේදී විදේශ බැඳුම්කර නිකුත් කිරීමෙන් ඩොලර් මිලියන 2,150ක ණය ලබාගෙන තිබේ. මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදු කිරීමට අමතරව දැඩි විදේශ ණය උගුලක ශී‍්‍ර ලංකාව හසු කිරීම සම්බන්ධයෙන් ඍජු වගඋත්තරකරුවා රනිල් වික‍්‍රමසිංහ වී සිටින බවද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
2016 වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 1,500ක් 2017 වසරේදී ඩොලර් මිලියන 1,500ක් 2018 වසරේදී ඩොලර් මිලියන 2,500ක් සහ 2019 වසරේදී ඩොලර් මිලියන 4,400ක් වශයෙන් විදේශ ගිනි පොලී ණය හෙවත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ඉහළ පොලී අනුපාතිකයක් යටතේ ලබාගෙන ඇත. එම වසර 05 තුළදී ලබාගෙන ඇති සමස්ත විදේශ ගිනිපොලී ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 12,050ක් වී තිබිණි. මෙම දිගුකාලීන ණය ආපසු ගෙවීමේදී රට නැවත ආර්ථික අර්බුදයකට ගමන් කරන බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කරන්නේ රට තුළ මහා ණය කන්දක් නිර්මාණය කිරීමෙන් පසුවය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදේශ ගිනි පොලී ණය ලබාගැනීම ආරම්භ කළ අතර 2014 වර්ෂය අවසන් වනවිට එම ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 4,500ක් වී තිබිණි. රනිල් වික‍්‍රමසිංහ පාලන කාලය තුළ එය තවත් තුන්ගුණයකට අධික ණය ප‍්‍රමාණයක් බවට පත්කරනු ලැබීය.








