නන්දා මාලනීගේ නිර්භීතකම ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක සටහනක් තබයි

නන්දා මාලනීගේ නිර්භීතකම ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක සටහනක් තබයි

එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක මර්දනකාරී පාලනය ආරම්භක අවදියේදී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව නන්දා මාලනී ක්‍රියා කළ ආකාරය පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක ෆේස්බුක් සටහනක් තබා ඇත.

ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස බලයට පත් වූ 1977 මහ මැතිවරණයෙන් පසුව රට පුරා දරුණු දේශපාලන පළි ගැනීමේ රැල්ලක් සැලසුම් සහගතව ක්‍රියාත්මක විය. 1980 ජූලි වර්ජකයන්ගේ රැකියාවෙන් දොට්ට දැමීම සහ එම වසරේදී ම සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් විපක්ෂය මර්දනය කිරීමේ දරුණු මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එම මෙහෙයුමට යටත් නොවී ගායිකාවක ලෙස නන්දා මාලනී නිර්භීතව නැගී සිටියා ය. එම අතීතය සිහි කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක තැබූ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

ඇය ශ්‍රී ලාංකේය ගීත කලාවේ යශෝ රාවයයි.

නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ, පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්‍රශස්ති ගායනාවන් නොකළ නිසාවෙනි. සමාජ අසධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් නිසාවෙනි. ගීතයෙන් සමාජයක් නින්දෙන් අවදි කළ නිසාවෙනි.

සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහිවීම නිසා ගුවන් විදුලියේ දොරගුළු වැසුණු ගායක ගායිකාවන් කීප දෙනා අතර නන්දා ද පෙරමුණේ සිටියා ය. ඇතැමෙක් රාජ්‍ය මර්දනය හමුවේ පසු බසිද්දී නන්දා තම මතය වෙනුවෙන් නොබියවම අඛණ්ඩව පෙනී සිටියා ය.

විජය අසාධාරණ ලෙස අත් අඩංගුවට ගත් මොහොතේ රාජ්‍ය ත්‍රස්තවාදයට බියේ බොහෝ කලාකරුවන් නිහඬ වද්දී නන්දා නොබියව විජය වෙනුවෙන් පෙරට ආවා ය. නිතර රොස්මිඩ් නිවසට පැමිණි ඇය මට මහත් ශක්තියක් වූවා ය.

සමාජ අසාධාරණය හමුවේ සමාජය ම නිර්වින්දය වෙද්දී නන්දා නොබියව පෙරට පැමිණ ජීවිත තර්ජන නොතකා යුක්තිය වෙනුවෙන් හඬ නැගුවාය.

ඇය කිසිදු විටෙක සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. ඉතාමත් සරල දිවියක් ගත කළ ඇය ඕනෑම අභියෝගයක් මධ්‍යයේ නැගී සිටින මහා පෞරුෂයකට, නිර්භීතකමකට සහ ආත්ම ශක්තියකට උරුමකම් කියන්නී ය.

පෞද්ගලික ලාභාපේක්ෂාවන් වෙනුවෙන් වන්දි බට්ටකම් කරන කලාකරුවන්ට වඩා නන්දා මාලිනිය කෙරේ මා හදවතේ ඇත්‍තේ ඉමහත් ගෞරවයකි.

ඇතැමෙක් පටු දේශපාලන දුෂ්ඨීන්ට යට වී ඇයට පහර ගැසුවද , ඇයගේ කීර්තිය දශමයක් හෝ අඩු නොවන බව මම දනිමි. නන්දාගේ දේශපාලන දුෂ්ටිය සහ භාවිතාව, ප්‍රතිපත්තිගරුක බව නොදැන පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඇය ව විවේචනය කරන්නවුන්ට මම අනුකම්පා කරමි.

ආචාර්‍ය නන්දා මාලිනියනි ඔබට නිවන් සුව!

ඔබගේ නිර්මාණ භාවිතාව තවත් යුග ගණනාවකට ආලෝකයක් වනු ඇත.

Facebook
Twitter
LinkedIn