ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ගැන වහාම විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල පවසයි.
ඒ අනුව, ඔහුගේ ප්‍රකාශය සුළු කොට තැකීමක් සිදු නොකරන බවත්, ඒ ගැන විමර්ශනයක් සිදු කර, අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දෙන බවත් ඔහු සඳහන් කරයි.
සාගර කාරියවසම්ගේ දේශපාලන ව්‍යාපාරය රටේ බලය වෙනුවෙන් ජනතාව බිල්ලට ගත්, මිනීමරු දේශපාලන ව්‍යාපාරයක් බවත්, මෙවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ හිතේ ඇති සාහසිකත්වය, ම්ලේච්ඡත්වය සහ මනෝවිකාරී ස්වභාවය බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල අවධාරණය කරයි.
ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව මෙම ප්‍රකාශ හරහා නැවත නැවත ඔප්පු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් එම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.










