රු.මි. 110ක කොකේන් තොගයක් සමග විදේශිකයෙක් අත්අඩංගුවට

රු.මි. 110ක කොකේන් තොගයක් සමග විදේශිකයෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදේශිකයා 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකු බවත්, මෙම සැකකරු පසුගිය 22 වැනිදා සියෙරාලියෝන් සිට අඩිස්අබාබා සහ දෝහා හරහා මෙරටට පැමිණ ඇති බවත් රේගුව සඳහන් කරයි.

එහිදී ඔහුගේ බෑගය රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළද, කිසිදු සැක කටයුතු ද්‍රව්‍යයක් නොවීම හේතුවෙන් ඔහුට ගුවන් තොටුපොලෙන් පිටව යාමට අවසර ලබාදී තිබිණි.

කෙසේ වුවත්, ප්‍රමාද වී පැමිණි ඔහුගේ තවත් බෑගයක් පරීක්ෂාවට ලක් කිරීමේදී, ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු කොකේන් පාර්සල් හතරක් සොයා ගෙන ඇති අතර, අදාළ භාණ්ඩ රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 198ක් වන අතර, එහි දළ වටිනාකම රුපියල් මිලියන 109.9ක් වන බවද සඳහන් වේ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්