තයිඉට්ටි (Thaiyitti) ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් රජය පුළුල් ලෙස සාකච්ඡා පවත්වමින් සිටින අතර, ජනතාවට අයිති ඉඩම් ජනතාවටත්, විහාරස්ථානයට අයිති ඉඩම් විහාරස්ථානයටත් නිසි පරිදි ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.
මෙම ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තයිඉට්ටි ඉඩම් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණින් අධිකරණ ඇමති, ධීවර ඇමති, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවයි.
ඊට අමතරව, ඉඩම් අයිතිය ඉල්ලා සිටින ප්‍රදේශවාසීන්ද හමුවී සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ඉඩම් මැනුම් කටයුතු සිදු කිරීම සඳහා නිලධාරීන් වලිකාමම් – තයිඉට්ටි ප්‍රදේශයට ගිය බවත් ඇමති හිනිදුස සුනිල් සේනෙවි සඳහන් කළේය.
කෙසේ වෙතත්, එදින ඇති වූ සුළු බාධාකාරී තත්වයක් හේතුවෙන් මැනුම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වූ බවත්, නුදුරේදීම නිලධාරීන් සමඟ නැවත එම ප්‍රදේශයට ගොස් එම කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමති පැවසීය.
තවද, අදාළ විහාරස්ථානය පිළිබඳ සටහන් ඇතුළත්ව ඇත්තේ 1972 වසරේ ඉඩම් මැනුම් ලේඛනවල බව පෙන්වා දුන් ඔහු, ජින්තොට නන්දාරාම නායක හිමියන් ප්‍රදේශවාසීන් සමඟ සහජීවනයෙන් කටයුතු කරන බවත්, කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් ගැටලුවට විසඳුම් ලබා දීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළේය.
තයිඉට්ටි ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහ විහාරස්ථානයට හිමි ඉඩම් නීත්‍යානුකූලව වෙන්කර දීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්, දේශපාලන අරමුණු වෙනුවෙන් එම ප්‍රදේශයේ සහජීවනයක් නොමැති බවට මතයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති චෝදනා කළේය.
දේශපාලන ස්වාර්ථයන්ට ඉඩ නොතබා, ඉඩම් නිසි පරිදි මැන වෙන්කර නීත්‍යානුකූල ලේඛන සහිතව අයිතිකරුවන්ට භාරදීම රජයේ සැලසුම බවද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි වැඩිදුරටත් සඳහන් කළේය.










