“එල් නිනෝ” දරුණුයි! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආසියාවට අනතුරු අඟවයි!

“එල් නිනෝ” දරුණුයි! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආසියාවට අනතුරු අඟවයි!

එල් නිනෝ නමින් හැඳින්වෙන දේශගුණික සංසිද්ධිය දැනටමත් ලොව පුරා පැතිරෙමින් තිබෙන අතර එය ඉහළ තීව්‍රතාවයකට උත්සන්න වෙමින් පවතින අතර, ඉදිරි කාලය තුලදී වේගයෙන් ලොවම වෙලා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. එය නියඟය සහ අධික වර්ෂාපතනයේ සම්භාවිතාව මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රදේශවල ගොඩබිම සහ මුහුදේ තාප තරංගවල අවදානම වැඩි කරනු ඇත,” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ද තහවුරු කර කියා සිටි. එහි දැඩි බලපෑමක් ආසියාවට හා පැසිෆික් කලාපයට ඇති කරනු ඇති බවට ද නවසීලන්ත රජය නිකුත් කල වාර්තාවක ද සඳහන් වේ.

 එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 3 වන සිකුරාදා අනතුරු හඟවනුයේ අඛණ්ඩ එල් නිනෝ කාලගුණ සංසිද්ධිය මේ වන විට වේගයෙන් ශක්තිමත් වෙමින් පවතින බවයි. එය ජූලි සහ සැප්තැම්බර් වන විට “ඉහළ තීව්‍රතාවයකට” ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර ලොව පුරා ආන්තික කාලගුණික සිදුවීම් ඇතිවීමේ සම්භාවිතාව ද වැඩි කරනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) අනුව, නිවර්තන පැසිෆික් කලාපයේ එල් නිනෝ තත්ත්වයන් මතු වී ඇති අතර එය “ඉදිරි මාසවලදී වේගයෙන් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ලෝකයේ බොහෝ ප්‍රදේශවල තාප තරංග, නියඟ, අධික වර්ෂාපතනය සහ අනෙකුත් ආන්තික කාලගුණික සිදුවීම් ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරනු ලබන බව ද පෙන්වා දේ.

 2023 සහ 2024 දී සිදු වූ අවසන් එල් නිනෝ සිදුවීම එම වසර දෙක වාර්තාගත උණුසුම්ම වසරයන් බවට පත් කළේය. මෙම චක්‍රීය සංසිද්ධිය මාස කිහිපයක් පුරා ගෝලීය දේශගුණයට විශාල බලපෑමක් ඇති කරනු ලැබිණි.

මෙම ස්වාභාවික දේශගුණික සංසිද්ධිය සාමාන්‍යයෙන් සෑම වසර දෙකේ සිට හතකට වරක් සිදු වන අතර මාස නවයේ සිට දොළහ දක්වා කාලයක් එහි බලපෑම පවතින බව WMO සංවිධානය පවසයි. එය මධ්‍යම හා නැගෙනහිර සමක පැසිෆික් කලාපයේ ජල උෂ්ණත්වය උණුසුම් කරන අතර ගෝලීය වශයෙන් සුළං, පීඩනය සහ වර්ෂාපතන රටා ද වෙනස් කරයි. මෙවර පැමිණීමට නියමිත එල්නිනෝ එහි පෙනුමෙන් දැඩි බලපෑමක් ඇති කිරීමට නියමිත අතර ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම නිසා පීඩාවට පත් වී සිටින පෘථිවියට ප්‍රබල බලපෑමක් ඇති කරන බව ද WMO සංවිධානය තවදුරටත් අනතුරු හඟවා සිටි.

මේ අතර නවසීලන්තයේ කාලගුණික දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ද එල් නිනෝ ආසියාවට   2026 අවසන් මාස කීපයේ සිට දිගු කාලයක් පුරා ආන්තික කාලගුණික තත්ත්වයන් හට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

එරට කාලගුණ විද්‍යා විශේෂඥයින්ට අනුව, එල් නිනෝ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ අසාමාන්‍ය ලෙස ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වයක් ඇති කරනු ලබන අතර එමඟින් ගෝලීය වායුගෝලීය සංසරණය වෙනස් කරනු ඇත. ආසියාවේ, මෙම සංසිද්ධිය බොහෝ විට දැඩි තාප තරංග, වර්ෂාපතනය අඩුවීම, නියඟ, ජල හිඟය සහ බොහෝ ආසියානු රටවල ලැව් ගිනි පවා ඇතිවීමේ අවදානම ද වැඩි කරනු ලබයි.

අග්නිදිග ආසියානු රටවල් මේ වන විට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පටන් ගෙන තිබේ. මැලේසියාව තුල සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ සියයට 40 සිට 60 දක්වා පහත වැටීමක් පුරෝකථනය කරන අතර, එල් නිනෝ තවදුරටත් තීව්‍ර වුවහොත් කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ජල සම්පත් දැඩි ලෙස තර්ජනයට ලක් වනු ඇති බවටද අවධාරණය කරනු ලබයි.

ලෝකයේ සහල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සපයන කලාපය වන ආසියාවේ ආහාර නිෂ්පාදනයට ප්‍රබල මෙන්ම සෘජු බලපෑමක් එල් නිනෝ දේශගුණික විපර්යාසය මගින් ඇති කරනු ඇතැයි නවසීලන්ත විශේෂඥයින් අනාවැකි පළ කරයි. වාරිමාර්ග ජලය හිඳියාම සහ අධික උෂ්ණත්වය කෘෂිකාර්මික අස්වැන්න අඩු කළ හැකි අතර එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනවල සැපයුම සහ මිල ගණන් උච්චාවචනය වීමට ද හේතු වේ.

මේ අතර වියට්නාමයේ කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක අනාවැකි සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ 2026 දෙවන භාගයේ සිට 2027 මුල් භාගය දක්වා එල් නිනෝ සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබන බවයි. එල් නිනෝ පවතින කාල වකවානුවේදී, සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යයෙන් පෙර වසරවලට වඩා බෙහෙවින් ඉහල යා හැකි අතර, දැඩි තාපය සහිත දින ගණන් වැඩි වන අතර, බොහෝ කලාපවල, විශේෂයෙන් එරට මධ්‍යම කලාපයේ, මධ්‍යම කඳුකරයේ සහ දකුණේ ප්‍රදේශවල වර්ෂාපතනය අඩු වේ. නියඟය, ජල හිඟය, පිරිසිදු ජලය තුලට ලවණ ජලය කාන්දු වීම හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් ඇතිවීමේ අවදානම වැඩි කරනු ඇති බවට ඔවුන් සැක පල කරති.

එල් නිනෝ පවතින කාලය තුලදී කුණාටු සහ නිවර්තන අවපාත ගණන අඩු වීමට නැඹුරු වුවද, ගොඩබිමට කඩා වැදුනහොත් සැලකිය යුතු හානියක් සිදු කළ හැකි දරුණු, සංකීර්ණ කුණාටු ඇතිවීමේ අවදානමක් තවමත් පවතින බව ඇතැම් ජාත්‍යන්තර  කාලගුණික විශේෂඥයින් මේ අතර සඳහන් කරයි.

මේ අතර ප්‍රංශයේ කොපර්නිකස් සමුද්‍ර නිරීක්ෂණාගාරයට අනුව, ලොව සාගරවල 2026 ජුනි මාසයේ වාර්තාගත උණුසුම්ම උෂ්ණත්වය 20.98°C දක්වා ළඟා වී තිබේ. එල් නිනෝ සහ දේශගුණික විපර්යාසවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් ඒවා 2026 දී නව වාර්තා බිඳ දැමිය හැකිය. මානව ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේශගුණික විපර්යාස සංකීර්ණ කරන එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන්, ලෝක සාගර තුල වාර්තාගත උණුසුම්ම ජුනි මාසය වාර්තා කළ බව යුරෝපීය කොපර්නිකස් සමුද්‍ර නිරීක්ෂණාගාරය ජූලි 1 වන බදාදා නිවේදනය කළේය.

එල් නිනෝවේ බලපෑම වැඩියෙන්ම දැනුනේ 2024 දී වන අතර එය ගෝලීය උණුසුම +1.55°C කින් වාර්තා වූ උණුසුම්ම වසර වේ. මෙවර ප්‍රංශයේ වාර්තා වූ කිසිදා අත් නොදුටු අධික උෂ්ණත්වය සලකා බලද්දී එල් නිනෝ පැමිණීම අනාගතයට සුබ ලකුණක් නොවේ යයි එම වාර්තාව තව දුරටත් බිය පල කර සිටි. එසේම මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ 2025කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇත.

ඒ අනුව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන ආසියානු පැසිෆික් කලාපයේ රටවලට උපදෙස් දෙන්නේ එල් නිනෝ වර්ධනයන් කල්තියා නිරීක්ෂණය කරන ලෙසත්, කාර්යක්ෂම ජල භාවිතය සඳහා සැලසුම් සකස් කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන සැලසුම් අනුවර්තනය කිරීම සහ වැඩි වැඩියෙන් ආන්තික දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා ආපදා වැළැක්වීමේ සහ අවම කිරීමේ පියවරයන් ශක්තිමත් කිරීමට ඉක්මන් සැලසුම් සකස් කරන ලෙසයි.

“එල් නිනෝ දේශගුණික සංසිද්ධිය දැනටමත් උණුසුම් වෙමින් පවතින ග්‍රහලෝකයේ ගින්නට ඉන්ධන එකතු කිරීමක් පමණක් සිදු කරනු ඇත,” යයි එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් මේ අතර අනතුරු අඟවා සිටි.

Facebook
Twitter
LinkedIn