නිධන් හෑරූ හිටපු ඇමති පුතෙකු ඇතුළු 05ක් රක්ෂිත බන්ධනාගාරයට

නිධන් හෑරූ හිටපු ඇමති පුතෙකු ඇතුළු 05ක් රක්ෂිත බන්ධනාගාරයට

හබරණ, අළුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ලබාගැනීමේ අරමුණින් අනවසරයෙන් කැණීම් කරමින් සිටියදී අත් අඩංගුවට ගත් හිටපු ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 21 වනදා නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරණ හතරැස් කොටුව ගල්ඔය පොලිස් මුරපොළේ නිලධාරීන් පසුගිය 20වන දා රාත්‍රියේ සිදුකළ හදිසි වැටලීමකදීය.

පොලිසිය වැටලීම සිදු කළ අවස්ථාවේ මැණික් නිධානයක් සොයා යකැදුරෙකුගේ මූලිකත්වයෙන් පුද පූජා පවත්වා අඩි දහයක් පමණ ගැඹුරු වළක් හාරමින් සිට ඇති බව පැවසේ.

වැටලීමේදී කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක් සහ හිටපු ඇමතිවරයකුගේ පුත්‍රයා පැමිණි ටොයෝටා වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන පසුව නිදහස් කර තිබේ.

අනාවරණය වන තොරතුරුවලින් වාර්තා වන්නේ මෙම නිධන් හෑරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ඇමති එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධණගේ පුත්‍රයා බවය.

Facebook
Twitter
LinkedIn