ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමටත් ලක්වෙයි…

ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමටත් ලක්වෙයි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandraගේ ප්‍රධානත්වයෙන් යුත් IMF නියෝජිත පිරිසක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වූහ. එහිදී ආර්ථික ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව එම නියෝජිත පිරිසේ පැසසුමට ලක් විය.

ජූනි 24 සිට 30 දක්වා කාලයේ IMF නියෝජිත පිරිස කොළඹ සිදු කළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්විණි. ඔවුන්ගේ මෙම සංචාරය අතරතුර මෑතකාලීනව සිදු වූ සාර්ව ආර්ථික වර්ධනයන් සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි.

රජය විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉමහත් ඇගයීමට ලක් වූ අතර, IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් නියෝජිත පිරිස රජයට සිය ප්‍රශංසාව පළ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා රජය ගන්නා ඉදිරි පියවර සඳහාද සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වූහ.

ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ 07 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ වැඩසටහන් ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බවද නියෝජිත පිරිස ජනාධිපති අනුර දිසානායක වෙත දැනුම් දුන්හ. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව විසින් සැපිරිය යුතු සෙසු වගකීම් මෙම සමාලෝචනයට පෙර සපුරා ලීමට අපේක්ෂිතය.

පවත්නා බාහිර අභියෝග ජය ගැනීමටත්, මූල්‍ය සහ බාහිර තිරසරභාවය රැක ගැනීමටත්, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට මෙන්ම, කල් පවත්නා, සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් සුරක්ෂිත කිරීමටත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වේගය අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ආර්ථිකය ස්ථාවරභාවය ප්‍රමුඛතාවක්ව පවතින අතරම, රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලැබීමට සැලැස්වීම බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආර්ථික වර්ධනය, ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වයන්හි දැනෙනසුලු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවද ජනපති අවධාරණය කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක, එක්සත් ජනපද තීරුබදු පැනවීම, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ මැදපෙරදිග යුදමය තත්වය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් බාධා සහ ප්‍රමාදයන් ඇති වූ බවද පෙන්වා දුන්නේය. එසේ වුවද, සාර්ව ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා රජය කඩිනමින් පියවර ගත් බවත්, රට ප්‍රතිසාධන මාවතේ ස්ථිරව පවත්වාගෙන යාම සඳහා හැකි සෑම උත්සාහයක්ම තවදුරටත් ගනිමින් සිටින බවත් ජනාධිපති පෙන්වා දුන්නේය.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති අතර, එම වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කර ඇති බවත්, ආර්ථික වර්ධනයේ සහ ස්ථාවරභාවයේ ප්‍රතිලාභ සියලුම පුරවැසියන් වෙත ළඟා වන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ජනාධිපති අවධාරණය කළේය.

දිගුකාලීනව තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුගත වීම අවශ්‍ය බවද ජනාධිපති ප්‍රකාශ කළේය. එමෙන්ම ජනතාව මත අනවශ්‍ය බරක් ඇති නොකර ඔවුන්ට උපරිම ප්‍රතිලාභ අත්කර දෙන අයුරින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සමීප සහ ධනාත්මක සබඳතාව පිළිබඳවද ජනාධිපති අනුර දිසානායක මෙහිදී අවධාරණය කළේය. වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාලය පුරා දෙපාර්ශ්වයම සැලකිය යුතු නම්‍යශීලීභාවයක් පෙන්නුම් කර ඇති බවත්, එම අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව සුමටව ඉදිරියට ගෙන යාමට හැකි වූ බවත් ජනපති පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහාත්, රට තුළ දිගුකාලීන ආර්ථික ස්ථාවරභාවය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහාත් අඛණ්ඩ සහයෝගිතාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයේම කැපවීම යළිත් තහවුරු කරමින් සාකච්ඡාව අවසන් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට, එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou, IMFහි මෙරට නිත්‍ය නියෝජිත Martha Woldemichael, Enrique Flores Curiel, Ursula Wiriadinata, Yorbol Yakhshilikov, Maksym Markevych සහ මානවී අබේවික්‍රම යන නිලධාරීන් ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම අවස්ථාවට කම්කරු ඇමත් සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපොන්සු යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්