බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, දිවයින වටා සියලුම ධීවර යාත්‍රාවන්ට රැකියාව සඳහා පිටත්වීම නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, පවතින අවදානම් තත්වය හමුවේ, එම මුහුදු ප්‍රදේශවල මේ වනවිට රැකියාවේ නිරතව සිටින සියලුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් දැනුම්දෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
නොවැම්බර් 26 දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.










