අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කරන්න – ජනපති

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කරන්න – ජනපති

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා වන නව නීති කඩිනමින් සම්පාදනය කිරීමටත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජනාධිපති අනුර දිසානායක අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඒ, විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදීය.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවද ජනාධිපති පැවසුවේය. එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපති වැඩිදුරටත් අවධාරණය කළේය.

පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනැඟීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වනවිට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. මීට ප්‍රථම ලබා දුන් උපදෙස් අනුව මේ වනවිටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපති උපදෙස් දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේය.

දැනට සැලසුම් කර ඇති පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින රස පරීක්ෂක තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපති උපදෙස් දුන්නේය. විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකිමේ ‘ඉවත් වෙනු – රටම එකට’ වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 06, 07 දෙදින තුළ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරිමටද සැලසුම් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන විෂ මත්ද්‍රව්‍යවලින් තොර බවට සහතිකයක් දීමට අදාළ පාලනය සමත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසත් ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කුප්පියාවත්තේ බෝධානන්ද නායක හිමි ඇතුළු හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයෝද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.පී සේනාධීර, වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න ඇතුළු රටම එකට ජාතික මෙහෙයුම් සභාව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්