පහළ කඩුගන්නාවේ අනුතුර පහව ගිහින් නෑ… නුවර පාර තවදුරටත් වසයි…

පහළ කඩුගන්නාවේ අනුතුර පහව ගිහින් නෑ… නුවර පාර තවදුරටත් වසයි…

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කිරීමට නොහැකි තත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මාර්ගය විවෘත කිරීමට හැකියාව ලැබෙනුයේ, එම මාර්ගයේ බෑවුම් ප්‍රදේශයේ අවදානම් ගල් කඩා දැමීමෙන් අනතුරුව යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ පවසයි.

පවතින වැසි තත්වය හේතුවෙන් මාර්ගයේ කොටසක් හෝ විවෘත කිරීමට නොහැකි තත්වයක් පවතින බවත් කොන්ත්‍රාත්කරුවන් පැවැසූ පරිදි දිනකින් හෝ දින එකහමාරකින් ගල් කඩා දැමීමට හැකි වනු ඇති බවත් ඇය සඳහන් කරයි.

මේ අතර, බෑවුම් වැඩි ප්‍රදේශයේ මඟ නතර වී ඇති ගල් හේතුවෙන් අවදානම් තත්වය තවදුරටත් පවතින බව දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ අවධාරණය කරයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්වය නැරැඹීම සඳහා පැමිණීමෙන් වැළකී සිටින ලෙස ඇය සාමාන්‍ය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පහළට වැටී ඇති ගල මෙන් තවත් ගලක් සහ ඊට ආසන්නයේ තවත් ගල් හතරක්ද කුඩා ගල් කිහිපයක් ඉවත් කිරීම සඳහා මේ වනවිට සැලසුම් කර ඇති බව ඇය තවදුරටත් අවධාරණය කයි.

මේ අතර, ඉහළ තිබෙන විශාල ගලින් නැවත කොටස් කැඩී පහළට ඒමට හැකි බවත් එය කඩා අයින් කිරීමට නොහැකි තත්වයක් පවතින නිසා සවිස්තර අධ්‍යයනයක් කර ඊට ගැළපෙන ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් ඇය සඳහන් කරයි.

ඒ අනුව, බෑවුමේ මඟ රැඳී ඇති ගල් අයින් කිරීමෙන් අවදානම අඩු කර ගත හැකි බවත් එවිට මාර්ගයේ එක් පැත්තක් වාහන ධාවනයට විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ පවසයි.

සැලසුම් කළ පරිදි මෙය කඩිනම් කරන බවත් වැසි තත්වය සමග එයටද බලපෑම් විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්