“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ `ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.
දුම්රිය සේවය නවීකරණය යනු නිදාගෙන සිටින යෝධයකු ඇහැරවීම බව පෙන්වා දුන් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය.
පොදු ප්‍රවාහන දියුණු කිරිම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට හැකියාව පවතින බවත් ඉදිරි වසර දෙක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි රවින්ද්‍ර පත්මප්‍රිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ) දසුන් විජේසේකර, ස්ටාර් ගාමන්ට් කළමණාකරණ අධ්‍යක්ෂ ඒ. සුකුමාරන්, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ පුංචිහේවා, NIO Engineering හි කැඳවුම්කරු ලක්මිණ සමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





















