යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බවත් ජනාධිපති අනුර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති මේ බව සඳහන් කළේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.

දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත `ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීම පිළිබඳ සැලසුමද මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇත.

දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.

එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගතවනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන ගිය ක්‍රීඩාවක් බවයි.

සියලු සීමාවන් සහ සියලු වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අද ඉදිකිරීම් ඇරඹෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රිඩාංගණයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් බවද පෙන්වා දුන්නේය.

අනාගතයේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයින් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු ජාතීන්ට අයත් ජනතාව එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් තම සුබ සිහිනය බවද පැවසු ජනාධිපති, එය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙසද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකිවනු ඇති බවටද විශ්වාසය පළ කළ ජනාධිපති ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තැබූ මෙම පියවර අගය කරමින් ඊට ස්තූතිය පළ කළේය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුලු නිලධාරිහු, යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්