බ්‍රසීලය සහ ඉන්දියාව එ.ජා ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ඉල්ලා සිටී!

බ්‍රසීලය සහ ඉන්දියාව එ.ජා ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ඉල්ලා සිටී!

ජුලි 06 හා 07 වන දින බ්‍රසීලයේ රියෝ ජනේරියෝ හි පැවැත් වූ BRICS සමුළුව විසින් නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශය මගින් බහුපාර්ශ්වික ලෝකයක් සඳහා වූ සාමාජික රටවල කැමැත්ත තරයේ අවධාරණය කරනු ලැබූ අතර යුද්ධය, සම්බාධක හා අසාධාරණ බදු ප්‍රතිපත්තීන් තරයේ හෙලා දකිනු ලැබිණි. සමුළුව අමතමින් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා විසින් ඇමරිකානු අධිරාජ්‍යවාදය තරයේ හෙලා දැමුණු ලැබුවේ තමන් ස්වෛරී රටවල් බවට ද ට්‍රම්ප්ට මතක් කරමිනි. 21 වන සියවසට ගැලපෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, IMF මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) වැනි ජාත්‍යන්තර පාලන ආයතන ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉන්දියානු අගමැති මෝදි BRICS සමුළුව අමතමින් ඉල්ලා සිටියේය.

පසුව ජුලි 8 වැනිදා හමු වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයකින් බ්‍රසීලය සහ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල ස්ථිර ආසන ලබා දෙන ඉල්ලා සිටියහ. චීනය සහ රුසියාව ද ඇතුළත් නැගී එන රටවල් සමූහයක් වන BRICS සමුළුවට ඉරිදා සහ සඳුදා රියෝ හි සහභාගී වීමෙන් පසු ආසියානු සහ ලතින් ඇමරිකානු විශාලතම රාජ්‍යයන් දෙකේ නායකයින් එකිනෙකා හමුවූ අතර බටහිර-ඇමරිකානු රටවල් හමුවේ ලෝක බලතුලනය නැවත සමතුලිත කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර සිටින බව පවසා සිටියහ.

21 වන සියවසේ වෙනස්වන යථාර්ථයන් සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි නියෝජනයක් ලබා දිය යුතු බව මාධ්‍ය අමතමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී පවසා සිටියේය. එහිදී බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පෙන්වා දුන්නේ ජන සංයුතිය අනුව ලොව විශාලතම රටවල් දෙකක් වන බ්‍රසීලයට හා ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය නොමැති වීම කිසි සේත් පිළිගත නොහැකි කාරණාවක් බවයි.

ඒ අනුව ජූලි 8 වැනි අඟහරුවාදා ඒකාබද්ධ ප්‍රකාශයකින් නරේන්ද්‍ර මෝදි සහ ලූලා “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක්” ඉල්ලා සිටියහ. මේ වන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල නිෂේධ බලය සහිත ස්ථිර සාමාජිකයින් පස් දෙනෙකු සිටී: ඒ ප්‍රංශය, එක්සත් රාජධානිය, චීනය, එක්සත් ජනපදය සහ රුසියාවයි. එසේම තවත් රටවල් දහයක් චක්‍රීයව ස්ථිර නොවන සාමාජිකයින් ලෙස සේවය කරන නමුත් ඕනෑම යෝජනාවක් අවහිර කිරීමට අවශ්‍ය නිෂේධ බලය ඔවුන්ට හිමි වී නැත.

ඒ අනුව “සාමාජිකත්වය පුළුල් කරන ලද ආරක්ෂක කවුන්සිලයක ස්ථිර ආසන ලබා ගැනීම සඳහා” ඉන්දියාව සහ බ්‍රසීලය එකිනෙකාගේ පොදු සාමාජික අපේක්ෂකත්වයන් සඳහා “රාජ්‍යයන් දෙකෙහි අන්‍යෝන්‍ය සහයෝගය” නැවත තහවුරු කර සිටියහ. රටවල් දෙකටම “අසාමාන්‍ය විභවයක් ඇති අතර, ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එවැනි භූමිකාවක් ඉල්ලා සිටිමු” යනුවෙන් ලූලා ද සිල්වා විසින් නරේන්ද්‍ර මෝදි සමඟ නිකුත් කල තම ඒකාබද්ධ ප්‍රකාශය තුල යලි තහවුරු කරනු ලබා ඇත.රටවල් 11 කින් සමන්විත BRICS හි සමුළුව අවසානයේ ඔවුන්ගේ ප්‍රකාශයට අනුව “ගෝලීය දකුණේ හඬ ශක්තිමත් කිරීම” සඳහා වූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කර සිටියහ.

මේ අතර මෙම ඒකාබද්ධ ප්‍රකාශයට චීනය සහ රුසියාව ඔවුන්ගේ BRICS හවුල්කරුවන් දෙදෙනාගේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල සාමාජිකයින් වීම සඳහා අපේක්ෂකත්වයන්ට සහාය දක්වා ඇති බවටද වාර්තා වේ. මේ අතර බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට ට්‍රම්ප් ජනාධිපති වරයා විසින් පිළිතුරු සැපයුවේ ඇමරිකාවට ඇතුළු වන බ්‍රසීල අපනයන භාණ්ඩ සඳහා 50%ක බද්ධක් අය කරමින් හා හිටපු අන්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සොනාරෝ ට එරෙහිව පැවැත්වෙන අධිකරණ ක්‍රියාදාමය අහෝසි නොකොළොත් තවත් බදු ගසන බවට ද තර්ජනය කරමිනි.

ට්‍රම්ප් ගේ ලිපිය ලැබී පැය කිහිපයකට පසු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අනතුරු ඇඟවූයේ තම රටට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරන ඕනෑම “ඒකපාර්ශ්වික රේගු බදු වැඩි කිරීමට ගන්නා ඕනෑම පියවරකට” “අන්‍යෝන්‍ය වශයෙන්” ක්‍රියා කිරීමට තම රටට තීරණය කළ හැකි බවයි. එසේම “බ්‍රසීලය යනු කිසියම් අධිරාජ්‍යයයෙකුගේ රැකවරණය හෝ ආධිපත්‍ය පිළි ගැනීමට සුදානම් නැති ස්වාධීන ආයතන සහිත ස්වෛරී රටක් බවත්, බ්‍රසීල අධිකරණ පද්ධතියට එරෙහි ව සිදු කරන ඕනෑම “මැදිහත්වීමක් හෝ තර්ජන” ඉදිරියේ දණ නොනමන බවටද තවදුරටත් අවධාරණය කර සිටියේය.

Facebook
Twitter
LinkedIn