ඔටිසම් තත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්

ඔටිසම් තත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්

ඔටිසම් තත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේක විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා වී තිබේ. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම් එච්.ඒ.හේමා පෙරේරා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn