ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක බද්ද 14%කින් අඩු කර ගැනීම ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන අතර, සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙන්නේ “උද්දච්චකම හේතුවෙන් සෑම හිතවාදී රටක් ම, සෑම විශේෂඥ උපකාරයක් ම” වැළකී ගිය බව ය.
සජිත් ප්‍රේමදාස තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “පෙළ පොත් විශේෂඥයින් සැබෑ ලෝක සාකච්ඡා සඳහා නුසුදුස්සන් බවට මෙය හොඳම නිදර්ශනයක්” වී තිබෙන බවයි. නමුත්, සජිත් ප්‍රේමදාසගේ “Blue Print” ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කළ හර්ෂ ද සිල්වා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඉදිර කාලයේ තව දුරටත් සාකච්ඡා කරමින් බදු අනුපාතය තවත් අඩු කර ගත යුතු බව ය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හෝ පොහොට්ටු ආදී පක්ෂ වශයෙන් කල්පනා නොකර සියළු දෙනාම දේශපාලනය පැත්තකට දමා රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු තීරණාත්මක අවස්ථාවක් පැමිණ ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.










