ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සියලු දෙනාට එක හා සමාන ගරුත්වයක් සහ අයිතියක් තම මව් භාෂාවන් භාවිතයේ දී හිමි කර දීමට කටයුතු කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරන්නීය.
රාජ්‍ය භාෂා සතිය ජූලි පළවෙනි දින සිට “බස වඩමු – හද දිනමු” යන තේමාවෙන් ක්‍රියාත්මක කෙරිනි. පාසල් සිසු දරු දැරියන් සහ විවිධ වෘත්තීන්ගේ නියැලී සිටින පිරිස් මූලික කර ගනිමින් ක්‍රියාත්මක කළ භාෂා සතිය සමාප්ති උළෙල අමතමින් අගමැති ඒ බව සඳහන් කළාය. එම අවස්ථාවට අධිකරණ හා ජාතික ඒකබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානයක්කාර, ජාතික ඒකබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.
එම අවස්ථාව පිළිබඳව අගමැති මාධ්‍ය ඒකකය නිකුත් කළ විස්තර වාර්තාව පහත දැක්වේ.
” පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජූලි 07 වෙනි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, “පුනරුදයේ පෙරමග” රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.
” බස වඩමු – හද දිනමු ” යන තේමාව මුල් කරගනිමින් ජුලි 01 වැනි දා යෙදී තිබූ රාජ්‍ය භාෂා දිනයේ සිට දින හතක් තිස්සේ රාජ්‍ය භාෂා සතිය ක්‍රියාත්මක වූ අතර, එහි සමාප්ති උළෙල අග්‍රාමාත්‍යවරියගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,
“රාජ්‍ය භාෂා සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි, මෙය භාෂාවක අනන්‍යතාවය, ගෞරවය සහ සියලු ජනතාව එකට එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණ සතියක්.
උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන ආදී අත්‍යවශ්‍ය ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවාර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පළිබඳ ප්‍රශ්නයක්ම නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයින් ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එ නිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවීම තහවුරු කළ යුතුයි.
මේ නිසා, සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙන ගතහැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම දැනෙන හැඟෙන භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකූම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට වැටහනෙ භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.
මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.
2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි.” යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.












