හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබේ.
බන්ධනාගාරගතව සිටි ඔහු අද (20) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද අධිකරණය අවසර ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව කෙහෙලිය රඹුක්වැල්ලගේ පුතා වන රමිත් රඹුක්වැල්ලට හෙට (21) අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කර ඇත.
සිය අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සේවකයන් සඳහා වැටුප් ගෙවිය යුතු බව පවසමින් අමාත්‍යාංශ තුනකින් රුපියල් අසූ ලක්ෂයකට ආසන්න මුදලක් වංචාසහගතව ලබාගෙන එම මුදල් ඔහුගේ පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය මැයි 07 වන දා අත්අඩංගුවට ගැනිණි.










