ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජන සඳහා නෙදර්ලන්තය සූදානමින් – තානාපති ජනපතිට කියයි

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජන සඳහා නෙදර්ලන්තය සූදානමින් – තානාපති ජනපතිට කියයි

ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් (Bonnie Horbach) ප්‍රකාශ කර තිබේ.

මෙම එකඟතාව පළ කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් (Bonnie Horbach) අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පැවැති හමුවේදීය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත අතර ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ සංරක්ෂණය, කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපන හා පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා නෙදර්ලන්ත රජයේ සහාය ලබාදීමට මෙහිදී එකඟතාව පළ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ, සංචාරක, වරාය කටයුතු හා ආයෝජන සදහා නෙදර්ලන්ත රජයේ සහාය අපේක්ෂා කරන බවය.

මෙවර අයවැය යෝජනා මගින් ජනාධිපති ඉදිරිපත් කළ කරුණු අගය කර ඇති තානාපති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව මානයකට ගෙන යාම සඳහා නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රූජෙනස් (Iwan Rutjens), නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති නිලධාරී නාමල් පෙරේරා යන අය මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn