තායිලන්ත අගමැති කාර්යාලයේ උප ඇමති ශ්‍රී ලංකා අගමැති හමුවෙයි

තායිලන්ත අගමැති කාර්යාලයේ උප ඇමති ශ්‍රී ලංකා අගමැති හමුවෙයි

තායිලන්ත අගමැති කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් Nipat Thonglek, පසුගිය 10 වන දින අගමැති කාර්යාලයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ.

දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමගත්, පොලිස්පති (IGP) සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප ඇමති අගමැතිව දැනුවත් කර ඇත.

මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කර ඇති අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද අවධාරණය කර තිබේ.

තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

උප ඇමති Thonglek, සමීප වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් රටවල් දෙකෙහිම වාණිජ මණ්ඩල අතර පවතින සහයෝගීතාව අගය කර තිබේ.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Paitoon Mahapannaporn හා තායිලන්ත දූතපිරිස, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන සහ එම අමාත්‍යංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ තිළිණි ඉහළගේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටි බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn