2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු වී ඇත.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් අතර හමුවක් අද (11) සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපැතුම් එක් කර ඇත.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැති දැනුම්වත් කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා ඇත. එහිදී ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බවය.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්ද පැවත්වා ඇති අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මෙහිදී පෙන්වා දී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, වරාය, සංචාරක යන ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව බ්‍රිතාන්‍ය හිටපු අගමැතිව දැනුවත් කර ඇති ජනාධිපති, ඒ සඳහා ආයෝජකයන් යොමු කරන ලෙසද ආරාධනා කර තිබේ.
කාලගුණික විපර්යාසවලට මුහුණදීම, යහපාලනය, කෘෂිකර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළව විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව පෙන්වා දී ඇති ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඇගයීමට ලක් කර ඇත.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය බව සහ දූෂණයෙන් තොර පාලනය මෙහිදී ටෝනි බ්ලෙයාර්ගේද විශේෂ පැසසුමට ලක් ව තිබේ.
මේ අතර ලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අල්මාර් ලැටූර් (Almar Latour)ද හමු වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්ද ජනාධිපති සමඟ මෙම සංචාරයට එක්ව සිටී.




බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවේ අවස්ථාව


ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් අතර හමුව










