මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්න – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර

මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්න – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර

මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්නැයි රජරට විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු මෙලෙස ඉල්ලා සිටියේ, ඊයේ (09) අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක් කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ ජන හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජරට විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර,

“මේසා විශාල ආදරණීය මිනිසුන්ගෙන් පිරි මේ රැලිය දකින විට මට ඇතිවෙන්නේ දරා ගන්න බැරි තරම් සතුටක්. ඔබ සියලු දෙනාම අපේ මව්බිමට ආදරය කරන ගැහැනු සහ මිනිස්සු. ජාතික ජන බලවේගය වටා ඔබ සියලු දෙනා රොක්වී සිටින්නේ ඒ නිසාම තමයි.

මේ රට වේගයෙන් ඛේදජනක ඉරණමකට ඇදී යමින් තිබියෙදී එය වළක්වාගෙන අපේම පංතියේ මිනිහෙක් ජනාධිපති කළේ ඔබේ කතිරෙනුයි. ආදරය, මනුෂ්‍යත්මය නැති සමාජය දියුණු සමාජයක් වෙන්නේ නැහැ. බඩගෝස්තරවාදයට වැටුණු සමාජයක් තුළ කිසිදු යහපත් දේශපාලනයක් අපිට දකින්න බැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ආදරය වගා කරන පක්ෂයයි. මනුෂ්‍යත්මය වගාකරන පක්ෂයයි. ඔබේ කතිරය මේ රටට මොන තරම් බලපෑම් කළ හැකි දෙයක්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති.

පසුගිය 21වැනිදා ජනාධිපතිවරණයට පෙර මාලිමාවට මොනතරම් මඩ ප්‍රචාරවලින් දමා ගැසුවද? ඒත් මේ රටේ ජනතාව ඒවා පිළිගන්නේ නැහැ. මොනතරම් අවලාද ආවත් අභියෝග ආවත් ඉදිරියට තැබූ පය ආපස්සට නොතබන එකම දේශපාලන ව්‍යාපාරය තමයි මාලිමාව කියන්නේ. මාලිමාව කියන්නේ මේ සමාජය සුවඳවත් කරන දේශපාලන ව්‍යාපාරයක්. ලබන 14 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් ඔබ ජනාධිපතිවරණයේදී පෙන්වූ මිනිස්කම, ආදරය මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා නැවත ප්‍රකාශ කරන මෙන් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ ජනාධිපති අනුර සහෝදරයාට තවතවත් ශක්තිය ලබාදීම සඳහා මේ මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දිනවා පාර්ලිමේන්තුව පුරවන්න ඔබ තීන්දු කර අවසන් බව අපට සහතිකයි.”

Facebook
Twitter
LinkedIn