ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ආණ්ඩුව නැවත දූෂිතයින් අතට පත්වන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව යෝජනා කළේ, පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක,
“අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. තව තවත් ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කිරීමට අප කටයුතු කරනවා.
පහුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක බල හැරවුමක් සිදුවුණා. මැතිවරණ ඉතිහාසයේදී හැමදාම ජාතික වශයෙන් පවුල් කිහිපයක් අතේ, දිස්ත්‍රික්ක වශයෙන් තවත් පවුල් කීපයක් අතේ බලය ඒකරාශි වී තිබුණා. රට පාලනය කරන සුක්කානම හැසිරෙව්වේ පවුල් කීපයක් පමණයි . එක වෙලාවකට රට පාලනය කරනවා තාත්තා, තව වෙලාවක අම්මා, තව වෙලාවක දියණිය. තව කාලෙක මාමා බලය හසුරනවා, ඊට පස්සේ බෑනා බලය හසුරවනවා. තව කාලෙක අයියා බලය හසුරනවා, මල්ලි බලය හසුරනවා, පුතා ජනාධිපති කරවන්න උත්සාහ කරනවා . විපක්ෂයේ සිට තරග වැදුණු කෙනා තාත්තගෙන් පුතාට බලය ගන්න උත්සාහ කළා. විපක්ෂ නායකවරයා තාත්තගෙන් තමාට බලය හුවමාරු කරගන්නා බැලුවා.
සැප්තැම්බර් 21 වැනිදා දූෂිත පවුල් පරදා පොදු ජනතාව අතට බලය පත් කරගත්තා. එම දූෂිත ප්‍රභූ පවුල් සංස්ථාව තමන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඔවුන් පාලන බල සිතියම ඇඳලා තිබුණේ තාත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුබුරාට යන විදිහටයි. නමුත් පොදු ජනතාව පෙළගැහිලා දූෂිත ප්‍රභූ පාලනය ඉවත් කර පොදු ජනතාව අතට පාලන බලය ලබා ගත්තා. දැන් ඒ කණ්ඩායමට ගොඩක් රිදිලා තියෙනවා. ඒක නිසා දැන් ඔවුන් වේදිකාවට ඇවිත් මාස තුනෙන් ආණ්ඩුව වැටෙයි මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා කියනවා. මතක තියාගන්න මේ රටේ බලය නැවත ඒ අය අතට පත්වෙන්නේ නැහැ.
ඒ නිසාම ඒ අය දැන් නැවත වරක් ජාතික ජන බලවේගයට අවලාද කියන්න පටන් අරන් තිබෙනවා. ඒ අය හිතන සිහිනයට ළඟා වෙන්න මේ රටේ පොදු ජනතාව කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. මේ වර්ෂාවෙ තෙමෙමින්, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඔබ කියා පාන්නේ මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසයයි. මේ ආණ්ඩුව කෙරෙහි තියෙන බලාපොරොත්තුවයි.
පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපට ජනාධිපතිවරණයේදී ඡන්ද නොදුන් පිරිසක් හිටියා. සමහර අයට අපි ගැන පොඩි සැකයක් අවිශ්වාසයක්, දෙගිඩියාවක් තිබුණා. ඒක සාධාරණයි. සමහරු වේදිකාවල නැගලා ජාතික ජන බලවේගයට විවිධ අවලාද ගැසුවා. නමුත් එහෙම අවලාද කියද්දිත් අපට පාලන බලය ලබා දෙන්න ධෛර්වන්ත මිනිස්සුත් මේ රටේ හිටියා. එදා දෙගිඩියාවෙන් සිටි ජනතාවට අද අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා. ජාතික ජන බලවේගයේ වැඩිම රැස්වීම් සංවිධානය කරන්නේ ඒ අයයි.
ප්‍රචණ්ඩකාරී මැතිවරණවලට කුරුණෑගල කප් ගහපු ඉතිහාසයක් තියෙනවා. 1998 පළාත් සභා මැතිවරණයේදී මේ පළාතේ ඉන්න අය ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් පැවැත්වුවා. කාර්යාල ගිනි තියෙන, වෙඩි තියන කැත පන්නයේ ඡන්ද ඉතිහාසයක් තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාමකාමීයි. අපි හැමදෙනාටම ඡන්ද රැස්වීම් තැබීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එදා ලේ වැගිරීම් ඇතිවෙනවා කිව්වට ජාතික ජන බලවේගය මැතිවරණ ඉතිහාසයේ සාමකාමීව ජයග්‍රහණය සැමරුවා. මැතිවරණ ව්‍යාපාර නැවත චණ්ඩින්ට ලබා දෙන්න ජනතාව සූදානම් නැහැ. මේ සාමකාමී බව නිසාම නොවැම්බර් මාසයේදී වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එන බවට පුරෝකථනය කර තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ලබන ජයග්‍රහණය සමඟ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට හැකියාව තිබෙනවා. මේක ජනතාවගේ විශ්වාසය තව තවත් දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් වට්ටවන්න ලැබෙන්නෙ නැහැ.
රටක් වෙනස් කරන්න දේශපාලන අධිකාරියේ මෙහෙයවීමක් අවශ්‍යයි. අපේ රටේ විනය හදන්න, නීති සම්පාදනය කරන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. ආර්ථික වශයෙන් දේශපාලන තීන්දු ගන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍යයි. දැන් බලය තිබෙන්නේ ජනාධිපති ගාව පමණයි. දේශපාලන බල කේන්ද්‍රයක් වුණු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගැනීම මේ නොවැම්බර් මාසයේ 14 වැනිදා සිදුවෙනවා.
ගල්ගමුව, ගිරිබාව, මීගලාව පැත්තේ මහා වන අලි කරදරයක් තිබෙනවා. ඒවා විසඳීමට ඒ පැත්තේ මාලිමාවේ කට්ටිය පාර්ලිමේන්තුවට එවිය යුතුයි. හක්වටුනා ව්‍යාපාරයේ, දැදුරුඔය ව්‍යාපාරයේ, තිබෙන ගැටලු විසඳන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල නගරය සංවර්ධනය කිරීමට අපි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල සිසාරා පාර්ලිමේන්තුවට මාලිමා නියෝජිතයන් එවිය යුතුයි. සමහරු කියනවා විපක්ෂයටත් එවන්න ඕනලු ආණ්ඩුව හරි මඟ යවන්න. කවුද දැන් අපිව හරි මඟ යවන්න ඉන්නෙ. එයාලට අපිට කියලා දෙන්න තියෙන්නේ එතනෝල් බිස්නස් කරන්නේ කොහොමද? ආණ්ඩු බලය උපයෝගී කරගෙන සතොසෙන් හොරකම් කරන්නේ කොහොමද? පොලිසිය යටත් කරගෙන පාලනය කරන්නේ කොහොමද? ජාතික ජන බලවේගයට පෙන්නන්න ඒ අයට හරි මඟක් නැහැ.
මේ සැරේ විපක්ෂ ගැන කතා වැඩක් නැහැ.මේ රට ව්‍යසනයෙන් ගොඩ ගන්න, සංවර්ධන සැලැස්ම විධිමත්ව ග්‍රාමීය මට්ටමේ සිට ගොඩනගන්න ඒ සඳහා මන්ත්‍රීවරු එවන්න. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් පිරවිය යුතුයි. විපක්ෂයට ඔය එන කට්ටියට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට කකුල් මාට්ටු දාන එක. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කළ යුතුයි. මේ අය කළේ සිතු සිතු සේ මහජන ධනය නාස්තිකරපු එකයි. ඒ නිසා දේශපාලන ප්‍රමිතියක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයෙකුට ප්‍රමිතියක් තියෙනවා. ජනාධිපති පැරදිලා ගෙදර යනකොට වාහන 15-30 අරගෙන යනවා . ප්‍රමිතියක් නැහැ. පැරදුනාම ඉල්ලන කෝකියො බැලුවම හිතෙන්නේ රෙස්ටුරන්ට් එකක් දාන්නද කියලා. හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු දේවල් ටිකක් තිබෙනවා. ඒවා අපි වෙනස් කළේ නැහැ. දැනට වෙනස් කලේ නීති විරෝධීව ළඟ තබා ගන්නා දේවල් පමණයි. ඉදිරියේදී ව්‍යවස්ථාවෙන් සහ පනත්වලින් තිබෙන ඒවා වෙනස් කිරීමට කටයුතු කරනවා. හිටපු ජනාධිපතිවරුන් අනීතිකව ලබාගෙන තිබෙන සියලු දේවල් මේ වනවිට ආපහු ගත්තා.
ඕනම කෙනෙකුට ආණ්ඩුවෙන් මොනවා හරි දෙනවනම් ඒ සඳහා අයදුම් පතක් ලබා දි යුතුයි . ජනාධිපති අරමුදලෙන් මොනවාහරිි ඕනේ නම් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරුන්ට නිවසක් ඕනේ නම් එය ඉල්ලුම් කළ යුතුයි. එතකොට ඒ අයදුම්පතේ අසා තිබෙන දේවල්වලට පිළිතුරු දෙන්න ඕනෑ. ඒ අයත් අස්වැසුම ලබාගන්න මට්ටමේද ඉන්නේ කියලා බලලා තාවකාලිකව ගෙයක් දෙනවා. මිරිහානේ ගෙවල් තියාගෙන බෞද්ධාලෝක මාවතේ ගෙවල් දෙන්නේ නැහැ. ඒවා කිසිසේත්ම පළිගැනීම නෙවෙයි. ඒවා කිසිසේත්ම වෛරයට කරන වැඩ නෙවෙයි. දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා. කවුරුත් එය ප්‍රමිතියට යටත්. අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරු ඒ ප්‍රමිතියට යටත්. අපේ රටේ දේශපාලනය ප්‍රමිති ගත කරනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු ජයග්‍රහණයක් ඕනෑ. එයින් පසුව මේ රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනගන්න පටන් ගන්නවා. රට යම්කිසි තැනකට එනතුරු ජනතාව බලාගැනීම අපි සිදු කරනවා. සමහර භාණ්ඩ කිහිපයක අපි වැට් බද්ද ඉවත් කරනවා. පාසල් දරුවන්ගේ පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. සියලුම දරුවන්ට නොමිලේ රෙදි ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා.
පහුගිය අවුරුද්දේ රජය වී අරගෙන තියෙන්නේ මෙට්‍රික් ටොන් 119යි. දවසක සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. මෙහෙම තත්වයක් තමයි සහල් ක්ෂේත්‍රයට සිදු කර තිබෙන්නේ. එමනිසා සහල් පාලන මිලකට ලබාදීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. පහුගිය පාලකයන්ගේ බලයේ රහස ජනතාව දුප්පත් වී සිටීමයි. ජනතාව දුප්පත් උනාම සාරි බෙදලා, වැසිකිලි පෝච්චි බෙදලා ඡන්දේ ගන්න පුළුවන්. එහෙම නිසා එ් ආණ්ඩු ලංකාවේ දුප්පත්භාවය නැති කරන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන්කිරීමයි. දුප්පත් භාවය තුරන් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉතාම වැදගත් වෙනවා. තාත්තා දුප්පත් උනාට උගත් බුද්ධිමත් තාරුණ්‍යය තුළින් දුප්පත්කම තුරන් කළ හැකියි. එය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපේ රට තුළ පිරිසිදු වැසිකිලි පද්ධතියක් අවශ්‍යයි. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ විනයගරුක සමාජයක් ඇතිකරනවා. ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා.
නව සංචාරක කලාප සඳහා නව විභවතාවන් සොයා බලමින් තිබෙනවා. යාපහුව සහ උතුරු පළාතේ සංචාරක විභවතාවයන් මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබාදෙමින් ලබන වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසර බවට පත් කරනවා.
ශ්‍රී ලංකාව නූතන ලෝකයට සම්බන්ධ කිරීමට ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පුරවැසියෙකුට ගෙදර සිට ඩිජිටල්කරණය ඔස්සේ තමන්ගේ පහසුකම් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. එය සඳහා දැනුමැති වෘත්තියවේදීන් ආණ්ඩුව සමඟ එකතු වී තිබෙනවා. එම ඉදිරි මඟ සකස් කිරීමට ලබන නොවැම්බර් මස 14 වැනිදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියා ආරාධනා කරනවා.”















