රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු – පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි

රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු – පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි

රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු යැයි ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි ජනතාවට යෝජනා කරයි.

ඒ හිමියෝ මේ බව යෝජනා කළේ, පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි,

“පිං කරනවා කියන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපතට කරන කටයුත්තක්. බෞද්ධයන් හැටියට අපි විවිධ පිංකම් කරනවා. මේ දවස්වල අපි විශේෂයෙන් කඨින පිංකම් කරනවා. ජනාධිපතිවරණයට කලින් සමහරු කීවේ මාලිමාව යටතේත් කඨින පිංකම් කරන්න වෙන්නේ නැහැ කියලා. අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කඨින පිංකම් අවසන් කරලා. ඒ විවිධ පිංකම් අතරේ අපි හැමෝම එක්වී සැප්තැම්බර් 21 වැනිදා විශාල පිංකමක් කළා. මේ රට යහපත් දිසාවකට ගමන් කරවිය හැකි ජනතාවාදී නායකයෙක් පත්කර ගැනීම ඒ මහඟු පිංකමයි. එහි ප්‍රතිඵලයක් හැටියට මේ මාස් කන්නයේ කුඹුරු අස්වද්දන අතර, මුළු රටම අස්වද්දන්නත් ඕනෑ. දුසිරිත නැතිකරලා හොරකම, දූෂණය, වංචාව නැති කරලා හැමදෙනාටම සමාන වූ අයිතිවාසිකම් හා යහපත් වූ සමාජයක් හදන්න රට නමැති කුඹුර අස්වද්දන්නත් ඕනෑ.

ඒ වෙනුවෙන් අපව නියෝජනය කරන අපේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙන්නේ ඇත්ත, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ 18 දෙනාගෙන් සුදුසු කෙනෙකුට මනාපය ලබාදී පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට අස්වද්දන්න මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන අතරේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් යැවීමට සියලු දෙනාටම යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.”

Facebook
Twitter
LinkedIn