විෂ්ණු දෙවියන්ටවත් නොපෙණුනු CPC බංකොලොත් කළ ත්‍රාඩ දේශපාලකයෝ…

විෂ්ණු දෙවියන්ටවත් නොපෙණුනු CPC බංකොලොත් කළ ත්‍රාඩ දේශපාලකයෝ…

මහාවංශයේ සඳහන් වන අන්දමට, සම්බුද්ධ ශාසනයත්, ලංකාවේ භූමියත් ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම විෂ්ණු දෙවියන්ට භාර වෙන්නේ විජය කුමාරයා ලංකා භූමියට ගොඩබැසීමත් සමගය. සත්පුරුෂයන් ආරක්ෂා කිරීමටත්, පවිටු පුද්ගලයන් විනාශ කිරීමටත් විවිධ යුග වල විෂ්ණු දෙවියන් පහළවන බව ඇතැම් පුරාණ පොත් පත් වල සඳහන් වෙයි. මේ භූමියේ කොතෙක් නම් පවිටු දේශපාලකයන් සිටීද? විෂ්ණු දෙවියන් මේ වන තෙක් ඔවුන් විනාශ නොකලේ ඇයි? දෙවියන් ඔවුන් නොදැක්කාද? එසෙත් නැත්නම්, නොදැක්කා සේ සිටියාද?

රටට වඩාත්ම අගතියක් කර තිබෙන්නේ විශේෂයෙන්ම පසුගිය දශක පහේ ලංකාව පාලනය කල දේශපාලන පවුල් කිහිපයකි. ඔවුන් කිසිදු විලිලැජ්ජාවක් නැතිව දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් අදටත් යෙහෙන් සුවයෙන් සිටිති. එමෙන්ම, ඔවුන් ගේ පාලන කාල වලදී විදේශ රටවලින් ගිණිපොළියට ණය ගෙන ගසා කා අද වන විට ණය ගෙවා ගැණීමට නොහැකි තත්වයට රට බංකොලොත් කොට ඇත.

2022 ඔක්තෝබර් මාසයේ දයාසිරි ජයසේකර, එවක පාර්ලිමේන්තු මන්ත්‍රී, මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන්නේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඩුබායි හි ලියාපදිංචි කොට ඇතැයි කියන කොරල් එනර්ජි (Coral Energy DMCC) නැමැති සමාගමකට යුරල් බොරතෙල් (Russian Crude Oil) මෙට්‍රික් ටොන් 99,673 ක් සැපැයීමට ටෙන්ඩරයක් (Unsolicited) පිරිනමා ඇති බවත්, එම ටෙන්ඩරයේ එකඟ වී ඇති මිල (Free On Board (FOB) Price) බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 51.2 කට කොළඹ වරායට සැපැයීමට බවත් ය. එහෙත්, ඛණිජතෙල් නීතිගත සංස්ථාවා විසින් ගිවිසුමේ කොන්දේසි වසන් කොට බ්‍රෙන්ට් බොරතෙල් වෙළඳපළේ (Brent Crude Oil) එවක මිල වූ ඩොලර් 82.09 බැගින් කොරල් එනර්ජි සමාගමට ගෙවා ඇත. දයාසිරි ජයසේකර එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම ප්‍රකාශ කල අන්දමට එම ටෙන්ඩරයෙන් පමණක් කොරල් එනර්ජි සමාගම වංචාකොට ඇති මුදල ඩොලර් මිලියන 100 කි. එකල විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 36 කි. මෙම වංචාව සිදුකොට තිබෙන්නේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දීය. තෙල් සංස්ථාව කොරල් එනර්ජි සමාගමට මෙවැනි අන්සොලිසිටඩ් ටෙන්ඩර් (Unsolicited) රාශියක් පිරිනමා ඇත. එවක ඛණිජ තෙල් බාර ඇමැතිවරයා වූයේ කාන්චන විජේසේකරයි. https://www.dailymirror.lk/latest_news/Kanchana-Ministry-involved-in-massive-corruption-Dayasiri-reveals/342-246289

ඛණිජ තෙල් බාර ඇමති කාන්චන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලය වෙත 2022 දෙසැම්බර් 19 වන දින ඉදිරිපත් කල සංදේශයක් මගින් මාස හතරක් සඳහා (2023.1.1 සිට 2023.4.30) මර්බන්-සෛබීරියන් (Murban-Siberian) බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන 2.1 කොරල් එනර්ජි (Coral Energy) සමාගමෙන් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අතර, එක් වරකට මෙ.ටො. 700,000 බැගින් වූ තොග තුනක් ලෙස සැපැයීමට එකී සමාගම සමග ගිවිසුම් ගත වී ඇත. ගිවිසුම්ප්‍රකාරව 2023 මාර්තු 6-7 කාලයේ පළමු තොගය කොළඹ වරායට පැමිණීමට නියමිත වුවත්, අදාල නැව ප්‍රමාද වී කොළඹට සේන්දු වී ඇත්තේ 2023 මාර්තු 25 වන දායි.

එම තොගය කොළඹ වරායට පැමිණීමට පෙරම 2023 අප්‍රේල් 3 වන දින කාන්චන විජේසේකර ඇමැතිවරයා විසින් අංක. MOPE/SEC/COM/2023 දරණ නව කැබිනට් සංදේශයයක් මගින් අනුමැතිය ඉල්ලා ඇත්තේ කොරල් එනර්ජි සමාගම 2023 මාර්තු 21 වන දින තෙල් සංස්ථාව වෙත එවන ලද ලිපියකට අනුව, තෙල් සංස්ථාව සහ කොරල් එනර්ජි අත්සන් කොට ඇති ගිවිසුම ඩුබායි හී ලියාපදිංචි කොට ඇති වෙනත් සමාගමක් වන ප්‍රොන්ටස් ට්‍රේඩිං (Prontus Trading DMCC) සමාගමේ නමට හරවන ලෙසටත් අදාල ගෙවීම් සියල්ල එම සමාගමට කිරීමටත් අනුමැතිය ලබා දෙන ලෙසයි. එම ඉල්ලීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ලංකා ඛණිජ තෙල් සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලය මෙම ගිවිසුම වෙනස්කිරීම සම්බන්ධව නීතිපතිවරයාගේ මතය විමසීමේදී ඔහුගේ නිර්දේශය වී ඇත්තේ මෙම ක්‍රියාවලිය ගිවිසුම් නීතියට පටහැනි බවයි. එහෙත් තෙල් තොගය ගොඩබෑම ඒ වන විටත් ආරම්භ වී ඇති අතර මාර්තු 28 දින වන විට සියල්ල හමාර වී ඇත. මේවා සලකා බැලීමේදී තෙල් සංස්ථාව පාඩු ලැබූවේ ඇයිද කියා ඔබට අමුතුවෙන් කිවයුතු නැත. https://www.themorning.lk/articles/uRcYd2no9kXxcvIzU9r5

ඛණිජ තෙල් සංස්ථාව ටෙන්ඩර් කැඳවීමේදී බොරතෙල් බැරලයක් සඳහා ප්‍රීමියම් ගාස්තුව (අතරමැදි ගාස්තුව: නැව් ගාස්තු+නියෝජිත කොමිස්) ඩොලර් 5 කට ආසන්න මුදලකට සැපැයීමට ඇතැම් සැපැයුම් කරුවන් ලංසු ඉදිරිපත් කර ඇත. මෙය ජාත්‍යන්තර ඉන්ධන ගණුදෙණු වල පවතින සාමානය තත්වයයකි. එහෙත් අතරමැදි සැපැයුම් කරුවකු වන කොරල් එනර්ජි සමාගමට බැරලයක් සදහා ගෙවා ඇති ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 20-34 වැනි අසාමාන්‍ය ඉහල අගයකි. මෙම ගෙවීම් සියල්ල සිදුකොට ඇත්තේ පිළිගත් විවෘත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ලබාගත් අන්සොලිසිටඩ් (Unsolicited) යෝජනා හරහා අත්පිට මුදලට මිලදී ගත් ඉන්ධන තොග සඳහායි. මේවා සියල්ලම ඉතා ප්‍රෝඩාකාරි ගණුදෙණු බව අවබෝධ කරගැණීමට ඔබට විශේෂ දැණුමක් අවශ්‍ය නැත.

ලංකාවේ ඉන්ධන මාෆියාව රාජපක්ෂ පවුලේ ග්‍රහනයට හසුව ඇති බව වෘතීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා 2022 අගෝස්තු 15 වන දින පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණි. ඔහු කියන අන්දමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කොරල් එනර්ජි සමාගමට ප්‍රමාද ගාස්තු (Demurrages) හැටියට විශාල මුදලක් ගෙවා ඇත.

2023 ජූලි 16 වන දින ඩීසල් නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 600,000 ක්ද, අප්‍රේල් 25 වන දින බොරතෙල් නැවක් සඳහා දිනකට ඩොලර් 120,000 බැගින් දින 34 ක් සඳහාද ප්‍රමාද ගාස්තු ගෙවා ඇති බව ඔහු කියයි. ආනන්ද පාලිත කියන අන්දමට බොරතෙල් නැවක් සඳහා සාමන්‍යයෙන් දිනකට ගෙවන ප්‍රමාද ගාස්තුව ඩොලර් 25,000 කි.
https://www.themorning.lk/articles/214528

මෙවැනි වංචාකාරී දේශපාලකයන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩහැරීම කොහෙත්ම අනුමත කල යුතු නැත. බලයට එන සෑම ආණ්ඩුවකටම රිංගන මොවුන් මෙලෙස මහජන ධනය කොල්ලකෑමට මෙතෙක් පැවති ඉඩ මෙවර අවසන් කල යුතුය. විෂ්ණු දෙවියන්ට මෙතෙක් මොවුන්ට දඬුවම් දීමට නොහැකි වුවද, බලයට එන නව මහජන රජය ඉදිරි මාස කිහිපයේදි මෙම ත්‍රාඩ දේශපාලකයන් සියල්ල නීතිය ඉදිරියට ගෙන එනු ඇත. මොවුන් විවිධ රටවල සහ ලංකාව තුල සඟවා ඇති ධනය සහ වත්කම් යලි මහජනයා සතු කරනු ඇත. මෙම දූෂිත දේශපාලකයන් තම පාර්ලිමේන්තු කාලය තුල ලබන ලද වැටුප් සහ දීමනාවලට අමතරව උපයා ඇති ධනය සම්බන්ධව පවතින නීතිය අනුව විමර්ශන ආරම්භ කෙරෙනු ඇත. පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති සම්මත කරගැණීමට හැකි විශේෂ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නොවැම්බර් 14 වන දින තෝරා පත් කර දීම ඡන්ද දායකයන් වන අපගේ වගකීමකි. දූෂීත, ත්‍රාඩ, කැත දේශපාලන සංස්කෘතියට තිත තැබීමට අප සියලු දෙනා මෙවර පෙරමුණ ගනිමු.

ශාන්ත ජයරත්න©
10.11.2024

Facebook
Twitter
LinkedIn