අපේ දරුවන්ට පැහැබර අනාගතයක් ලබාදීම වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෑ යැයි අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී සූරියබණ්ඩාර අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී සූරියබණ්ඩාර,
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනා අපට ශක්තියක්. එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට මේ එකතු වී සිටින ජනතාව දැක්කාම ස්ථිර වෙනවා. අපේ රටේ දුවා දරුවන්ට නව පැහැබර අනාගත කාල පරිච්ඡේදයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් පිහිටුවන්න ඕනෑ.
“දේශපාලන භූමියේදී අනෙකුත් කණ්ඩායම් ජනතාව රවටමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින තරමට අසරණ වී සිටිනවා. ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ඉල්ලන්නේ දූෂිත ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතියේ කාලය අවසන් බව දන්නා නිසයි. නමුත් ගිලිහී යන වරප්‍රසාද රැකගන්න ශක්තිමත් විපක්ෂයකින් හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙවර මහා මැතිවරණයේදී ජනතාව ඔවුන්ට ප්‍රබල පාඩමක් උගන්වනවා.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පොළොවේ පය ගසා සිටින හොඳම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් තවදුරටත් බංකොලොත් වී සිටිනවා. ජනතාවගේ බදු මුදල්වලින් අනිසි සුඛවිහරණයන් ලබාගත් දේශපාලනය අවසන් කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳව සිහිනය යථාර්ථයක් කර ගන්න අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තරුණයන් පිරිසක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සටනේදී මිය ගියා. අපගේ දෙවන මෙහෙයුමේදී එම කැපකිරීම රට ගොඩනැගීමට යොදවමු කියලා ඉල්ලා සිටිනවා.”















