අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම මාලිමාවේ පාලනය තුළින් ඇරඹෙන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික අපේක්ෂිකා නීතීඥ ගීතා හේරත් අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ පසුගිය 08 වනදා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික අපේක්ෂිකා නීතීඥ ගීතා හේරත්,
“නිදහස ලබා ගත් පසු 76 වසරක් රට පාලනය කළ පිරිස් කඩා වැට්ටූ රට ගොඩ ගත හැකි බවට විශ්වාසය සියලුම ලාංකිකයන් තුළ දැන් තහවුරු වී තිබෙනවා. දූෂිත ප්‍රභූ දේශපාලනය අපට උරුමකර දී තිබෙන්නේ සියලු ක්ෂේත්‍රවලින් කඩා වැට්ටූ රටක්. එය ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම වෙනුවෙන් ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු වෙනවා.
නීතියේ ආධිපත්‍යය තහවුරු කර, මෙතෙක් කාලයේ වැලිතලාවට යටකර තිබූ දේශපාලන අපරාධ විමර්ෂණය කළ යුතු වෙනවා. අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම එයින් ආරම්භ කරනවා. අපි දුප්පත් වී ඉපදුනත් ඒ ලෙසම ජීවත් වී මිය යා යුතු නැහැ. ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය ඉටුකර ගන්න ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඔබ සියලු දෙනාට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.”















