ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේත් අනුරට සුබ පතයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේත් අනුරට සුබ පතයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr. Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී අනුර කුමාර දිසානායක ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වා තිබේ.

වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම්ද මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පවසා ඇති වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කර ඇති අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වනවිටත් සිදු වෙමින් පවතින බවද සඳහන් කර ඇත. ඒ පිළිබඳ ජනාධිපතිගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කර ඇති තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බවද පවසා තිබේ.

ශ්‍රී ලංකාව මුහුණු දුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදී කණගාටුව ප්‍රකාශ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ඒ පිළිබඳ විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මුලපිරීමද පැසසුමට ලක් කර ඇත.

වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද උඩෙයිග්වේ හිමිපාණන් සහතික වී තිබේ.

ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳවද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලාංකේය ජාතියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නංවා ගැනීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් එකඟ වී ඇත.

Facebook
Twitter
LinkedIn