සහරාන් ඇතුළු ම්ලේච්ඡ ප්‍රහාරකයන් හට පුපුරණ ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයින්ගේ බලපත්‍ර තහනම් කර තිබී නැවත විමර්ශනයකින් තොරව එම බලපත්‍ර ලබා දී ඇති බවට සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර් විජේරත්න චෝදනා එල්ල කර තිබේ.
පසුගිය 06 වෙනි දින පේරාදෙණිය තානායමේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයන් සමඟ එක් ව මේ බව හෙළිකර තිබිණි. එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය රජය සමයේදී රුපියල් බිලියන ගණනක වංචාවක් ද එම ජාවාරම්කරුවා සිදු කර ඇති බව ය. පාස්කු ප්‍රහාරයෙන් පසුව පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම කලුගල් කැඩීම සඳහා පමණක් සීමා කර තිබූ බවත් එසේ තිබියදී රුපියල් ලක්ෂ 25ක් වැනි අල්ලසක් ලබා දෙමින් හිටපු ඇමතිවරුන් හරහා පුපුරණ ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද එම මාධ්‍ය හමුවේදී හෙළිකර ඇත.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් කමල් ගුණරත්න විසින් දේශපාලඥයින්ගේ හිතවතුන් කිහිප දෙනෙකු හට ජනාධිපතිවරණ ආසන්න දිනයකදී බලපත්‍ර ලබා දී ඇති බව ද චෝදනා එල්ල කර ඇත. මහව සහ මහනුවර ප්‍රදේශවල එම පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බව වැඩි දුරටත් හෙළිකර තිබේ.










