ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක කමිටුවේ සාමාජික, විශ්‍රාමික පොලිස් අධිකාරී එච්.යූ. පියනන්ද අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක කමිටුවේ සාමාජික, විශ්‍රාමික පොලිස් අධිකාරී එච්.යූ. පියනන්ද
“තව දින හයකින් මේ රටේ ජනාධිපති කරගත යුත්තේ කවුරුන්දැයි සාතිශය බහුතරයක් ජනතාව තෝරාගෙන අවසන්. එය විඳදරාගත නොහැකිව අනෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට උඩගෙඩි දෙමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ නායකයා ඉතා අවධාරණයෙන් පහළම සාමාජිකයන් දක්වා උපදෙස් දී තිබෙන්නේ කිසියම්ම ආකාරයක හෝ හිංසනයක් වචනයකින් පවා නොකරන ලෙසයි. එසේ තිබියෙදී, ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට සහ පම්බල මැතිවරණ කාර්යාලයට කළුතෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊට අමතරව ඊයේ (13) මොනරාගල පවත්වන ලද අපේ රැලියට පැමිණ ආපසු යමින් සිටි ජනතාව රැගත් බස් රථයකට බුත්තල, මහබොඩයාය ප්‍රදේශයේ සමඟි ජන බලවේගය කාර්යාලය ඉදිරිපිටදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ වනවිට ජාතික ජන බලවේගය වටා ජනතාව එක්වෙමින් සිටීම පිළිබඳව දරාගත නොහැකිව මෙසේ පහර දීම් සිදු කර තිබෙනවා. අපට ඒ ගැන වාර්තා වූ සැණින්ම බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී, මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව පරීක්‍ෂණ පවත්වන ලෙස දැනුම් දුන්නා.
අප බලාපොරාත්තු වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක්. ඔවුන් අපේ සාමුහිකයේ තිදෙනකුට පහර දී තිබෙන අතර, ඒ අතර කාන්තාවක්ද සිටිනවා. ඇයට මැහුම් හයක් දාන්න සිදු වී තිබෙනවා. අපට වාර්තා වී තිබෙන විදියට 1077 දරන අල්ටෝ කාර් රථයෙන් පැමිණි පිරිසක් මත්පැන් බෙදාහැර පහර දීමට පොළඹවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාගර කියන සැකකරුවා අත්අඩංගුවට ගෙන සිටිනවා. ඔහු ප්‍රකාශයක් ලබා දෙමින්, මත්පැන් ලබා දී බස්රථවලට පහර දෙන්න උපදෙස් දුන් බව පිළිගෙන තිබෙනවා. දේශපාලන පක්‍ෂයක පුද්ගලයකු හෝ කණ්ඩායමක් යම් කිසි ප්‍රචණ්ඩත්වයක් මුදාහැරියහොත්, පොලිසිය නිසි පරිදි ක්‍රියා කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. බුත්තල පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපි අවධාරණය කරනවා. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කරන්න බැහැ. බුත්තල පහර දීමට සම්බන්ධ අයියයි, මල්ලියි ප්‍රධාන සැකකරුවන් ලෙස පොලිසියට භාර වී සිටිනවා. මේ රටේ සාමකාමී පුරවැසියන් මෙවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩකඩක් ලබා දෙයි කියා අප විශ්වාස කරන්නේ නැහැ.”
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කළත්, ක්‍රියාමාර්ග ගෙන නැති බව පසුගිය මාධ්‍ය හමුවේ දීත් ඔබලා ප්‍රකාශ කළා. එහෙම නම්, මාධ්‍ය හමුවේ සඳහන් කරන එක විතරද කළ හැක්කේ ?
අපි මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂයක් පමණයි. අපට කරන්න තිබෙන්නේ ස්වාධීනයි කියලා අප විශ්වාස කරන මැතිවරණ කොමිසමට වාගේම පොලිසියට පැමිණිලි කිරීම පමණයි කරන්න තියෙන්නේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ජනතාව ඒ සම්බන්ධයෙන් තේරුම්ගෙන මැතිවරණයේ දී විරෝධය පළ කරන්න ඕනෑ. අපට නීතිය අතට ගන්න බැහැ. මෙපමණ කල් නීතියේ ආධිපත්‍යය සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක නොවුණා වාගේම මැතිවරණය ආසන්නයේ දීත් ක්‍රියාත්මක නොවන බවයි තේරුම් ගන්න තියෙන්නේ.
බලය ගත්තොත්, මේ සම්බන්ධයෙන් මොක ද කරන්නේ ?
ගත්තොත් නොවෙයි. ගන්නවා. ඊට පස්සේ මේ එකිනෙක පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය මගින් පරීක්‍ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, දණ්ඩනීති සංග්‍රහය පවා උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති ආකාරය අප මෙහි දී පෙන්වා දුන්නා. ඒ වාගේම සිවිල් හා පුරවැසි අයිතීන් සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිය පවා උල්ලංඝනය කර ඇති ආකාරය අප පෙන්වා දුන්නා. ඒ අනුව මෙපමණ කල් ක්‍රියාත්මක නොවූ නීතියේ ආධිපත්‍යය 22 වැනිදායින් පසුව ක්‍රියාත්මක වේවි. මේ පාලකයෝ හැමදාමත් නීතිය පහළින් තබාගෙන ඔවුන් ඉහළින් හිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාගේම සමඟි ජන බලවේගයත් එහෙමයි.











