කෙහෙළියගේ හතර මායිම දිග හැරේ

කෙහෙළියගේ හතර මායිම දිග හැරේ

සෞඛ්‍ය ඇමති ලෙස සිටියදී කෙහෙළිය රඹුක්වැල්ලගේ අනුග්‍රහයෙන් දියත් කරන ලද ඖෂධ ජාවාරම සම්බන්ධ තොරතුරු සහ එය සැඟවීමට ඔහු යොදා තිබෙන කූට උපක්‍රම පිළිබඳව අධිකරණය හමුවේ හෙළි වෙමින් පවතී.

ඊයේ (09) අභියාචනාධිකරණය ඉදිරියේ කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනු කර තිබූ රීට් පෙත්සමක් සලකා බැලීමේදී මෙවැනි කරුණු ගණනාවක් හෙළිවී තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මෙම කරුණු හෙළිකර තිබිණි.

ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් යොදා තිබූ සිරස්තලය සහ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත පළ කෙරේ.

කෙහෙළිය උසාවියත් නොමග යවලා – පාර්ලිමේන්තු වරප්‍රසාදත් අවභාවිත කරලා – නීතිපති අභියාදනාධිකරණයට දන්වයි.

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින් මෙරටට ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා සත්‍ය කරුණු වසන් කර අධිකරණය නොමග යවා ඇති බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කර ඇති බවත් නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (09) දැනුම් දුන්නේය.

ඊට අමතරව නීතිපතිවරයා කියා සිටියේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර පනත යටතේ ද වරදක් සිදු කර ඇති බවයි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් වින්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදුකළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් රිමාන්ඩ් බාරයට පත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේ දී ය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා හමුවේ සලකා බැලිණි.

මෙම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය, පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග් ග්ලොබියුලින් එන්නත මෙරටට ආනයනය කිරීමට ආධාර අනුබල දෙන ලදැයි චෝදනා කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් තමන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ලබා දෙනු ලැබ ඇති නියෝගය බල රහිත කරන ලෙසද තමන් පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සහතිකය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම රිට් පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදිය නොහැකි බවත් ය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු මෙම පෙත්සමේ තීන්දුව පසුවට කල් තබන ලෙසය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම සම්බන්ධයෙන් කිසිදු කරුණක් සටහන් නොකර සැබෑ කරුණු යටපත් කර ඇති බවත් ඒ අනුව අධිකරණය අවභාවිතයට ගෙන ඇති බවත් අධිකරණය නොමග යවා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර්වරයා කියා සිටියේය.

ඊට අමතරව අදාළ දිවුරුම් ප්‍රකාශය හිටපු අමාත්‍යවරයා අත්සන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී බවත් එය පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීමක් මෙන්ම බන්ධනාගාර පනත යටතේ බරපතළ වරදක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණ ඇමතූ පෙත්සම්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ හිටපු අමාත්‍යවරයා පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීම වැරදි සහගත බවත් පොදු දේපළ පනත යටතේ නඩු දැමිය යුත්තේ මහාධිකරණයේ බවත් ය.

එමෙන්ම නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියට කිසිදු බලයක් නොමැති බවත් එවැනි බලයක් ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයකුට පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීතියට පටහැනි බැවින් එම නියෝගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කියා සිටියේ තමන් නීතිපතිවරයාගේ විරෝධතාවට එකඟවන බවත් අමාත්‍යවරයා ඉල්ලා ඇති සහන ලබා දුන්නොත් එය ජනතාවට අහිතකර ලෙස බලපාන බවත් එමගින් ජනතාවට හානියක් සිදුවන බවත් ය.

ඒ අනුව තම අතරමැදි පෙත්සමට අවසර ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ගොනුකර ඇති පෙත්සම ඉවත දමන නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයෙන් අතරමැදි පෙත්සමට අවසර ලැබුණ අතර මෙම පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කරනවා ද නැද්ද යන නියෝගය මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කල් තැබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ කපිල වික්‍රමනායක මහතා ගොනුකොට ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ද මෙම 26 වැනිදාට කල් තැබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්