විරෝධතාවයට ගියැයි කොළඹ සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්

විරෝධතාවයට ගියැයි කොළඹ සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්

පසුගිය 05 වෙනිදා විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී එක්සත් විරෝධතා ක්‍රියාමාර්ගයක් ලෙස පැවති විරෝධතාවයකට සහභාගී වූ බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කේ.ඩී කරුණාරත්න විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර ඇතැයි වාර්තා වේ.

එලෙස පන්ති තහනම් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉශාර ධනුශ්ක සහ ශිෂ්‍ය ක්‍රියාකාරී අංජන හෙට්ටිආරච්චි යන දෙදෙනාය.

එක්සත් විරෝධතා ව්‍යාපාරයෙන් පසුව පසුගිය 13 වෙනිදා ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති කේ.ඩී කරුණාරත්න විසින් ශිෂ්‍ය නියෝජිතයින්ගේ දෙමාපිය රැස්වීමක් කැඳවා ඇති අතර මෙම විරෝධතාවය සඳහා සහභාගී නොවූ සිසුන් 06 දෙනෙකුගේ මව්පියන්ද ඊට කැඳවා තිබී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු සඳහන් කළේ.

“මේක මහා විහිළුවක්. ඒ වගේම අත්තනෝමතික, දැඩි උද්දච්ච ක්‍රියා මාර්ගයක්. කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ ඉස්කෝලයක් නෙමෙයි ගුරු දෙගුරු රැස්වීම් තියන්න. මේ උප කුලපතිවරු කවදාවත් ශිෂ්‍යන්ගේ ප්‍රශ්න පිළිබඳව, ශිෂ්‍යන්ගේ නේවාසිකාගාර පිළිබඳව, ආචාර්ය මණ්ඩල හිඟකම පිළිබඳව, දේශනා ශාලා අර්බුද පිළිබඳව වගේ දේවල් ගැන කිසිම් දවසක අම්මලා තාත්තලාට එන්න කියලා ඒ ප්‍රශ්න ගැන විමසුවේ නැහැ. විමසන්නෙත් නැහැ. ඒ නිසයි ශිෂ්‍යයෝ පාරට ආවේ. විරෝධතාවයේ නිරත වුණේ. ඒ ගැන අහන්න පෞරුෂයක් නැති මේ උප කුලපතිලා දැන් පාලකයන් සතුටු කරන්න, පොලිස්පතිව පිනවන්න කොළඹ විශ්වවිද්‍යාලය ඉස්කෝලයක් කරන්න හදනවා. දෙමාපිය රැස්වීම් තියනවා. නාපු දෙමාපියන්ගේ දරුවෝ දෙන්නෙක්ගේ පංති තහනම් කරනවා. මේක අසාධාරණයි. වැරදියි. සීමාව ඉක්මවා යාමක්. අපි මීට එකඟ නැහැ. මේ පංති තහනමට වගේම ශිෂ්‍යන්ගේ සාධාරණ අවශ්‍යතා වෙනුවෙනුත් අපි අඛණ්ඩව පෙනී ඉන්නවා. මේ උද්දච්ච ක්‍රියාමාර්ග පරාජය කරන්න එකතු වෙනවා” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn