සනත් නිශාන්ත නාමල්ගේ විදුලි බිල ගෙවපු හේතුව මෙන්න

සනත් නිශාන්ත නාමල්ගේ විදුලි බිල ගෙවපු හේතුව මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගල උත්සවය සඳහා ලබා දුන් විදුලිය වෙනුවෙන් අයවිය යුතු ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා ඇති නඩුවට බයෙන් යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ හෙළි කරයි.

නාමල් රාජපක්ෂගේ මංගල්‍ය පැවති දිනවල විදුලිය ලබා ගැනීම සඳහා අයවියයුතු මුදල මෙතෙක් ගෙවා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ විසින් හෙළි කරන ලදී. එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ වෙත ලබා දුන් දුරකථන ඇමතුමකින් පසුව නලීන් හේවගේ විසින් ඉදිරිපත් කළ චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට මන්ත්‍රී සනත් නිශාන්ත කටයුතු කර තිබිණි. පසුව තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව පසුගිය අගෝස්තු 02වනදා ලබාගත් තොරතුරු මත, ජාතික විධායක සභික නලීන් හේවගේ විසින්, නාමල් රාජපක්ෂගේ මංගල්‍යයට ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් ගෙවීමට ඇති බව තහවුරු කරන ලදී.

එය සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන මාධ්‍ය තුළද ප්‍රචාරය වීමෙන් පසු එම බිල්පත පැහැර හැරීමට එරෙහිව නීතීඥ විජිත කුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. එම පෙත්සම ලබන මස 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඒ සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, මන්ත්‍රී නාමල් රාජපක්ෂට, මන්ත්‍රී ඩී.වී චානකට, එවකට විදුලිය භාර ඇමති රවී කරුණානායකට, වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරට, මෙම වංචාව හෙළිකළ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේට, ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිට, එවකට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිට සිතාසි නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා සඳහන් කර සිටියේ එම මුදල ගෙවා දැමුවේ ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගැනීමට නියමිත බැවින් ඊට බියවී බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්