මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර් ජයවර්ධන අනුගමනය කළ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා හැකි වූයේ නම් ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත් කළ හැකිව තිබූ බවත් එවැනි ජනතාවාදී ක්‍රියාමාර්ග ඔහු අනුගමනය කළ බවත් හිටපු කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර තිබේ.
ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති ජේ.ආර් ජයවර්ධන ගුණසමරු උළෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර වර්තමාන ජනාධිපති අනිල් වික්‍රමසිංහ ජේ.ආර් ජයවර්ධනට ඉටු කළ නොහැකි වූ කාර්ය භාර්යය ඉටු කරමින් සිටින්නේ යැයිද හිටපු කතානායක ප්‍රකාශ කර ඇත. එම ගුණසමරු උළෙලට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූන් පැමිණ සිටි අතර ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරූ ජයසූරිය විසින් සිදු කරනු ලැබීය.
රජයේ නිල වෙබ් අඩවිය එම කතාව වාර්තා කර තිබූ අතර ඉන් උපුටා ගත් කොටස පහතින් පල වේ.
“යම් කාලවලදී මෙරට පාලකයන් පත් කරන්නටත්, ඉවත් කරන්නටත් විධායක ජනාධිපති ක්‍රමයට හැකියාව ලැබුණා. ජයවර්ධන මැතිතුමා යම් තීන්දුවක් ගත්තා නම් එම තීන්දුව වෙනස් කරන්නේ නැහැ. එසේ වෙනස් කළා නම් එය සිදු කළේ ජනතාවාදී පාලනයක් ඇති කිරීම සඳහා පමණයි.”
හිටපු කතානායක කරූ ජයසූරිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ බව බොහෝ දෙනා පවසන අතර ජේ.ආර් ජයවර්ධන ජනතාවාදී පාලකයෙකු බව ඔහු කර තිබෙන ප්‍රකාශය ඉතිහාසය විසින් කරුණු ගණනාවක් ඔස්සේ ප්‍රතික්ෂේප කර තිබේ. ජනමත විචාරන ඡන්ද කොල්ලය, සංවර්ධන සභා ඡන්ද කොල්ලය සහ එහි පියවරක් ලෙස යාපනය පුස්තකාලය ගිනි තැබීමට දේශපාලන මැරයන් යෙදවීම, හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව මැරයන් යෙදවීම, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම 1983 කලු ජූලිය නිර්මාණය කිරීම පිළිබඳව කරුණු ගණනාවක් ඒ අතර තිබේ.










