රාජ සභාව ඩෝසර් කිරීම : කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ මහ‍ෙස්ත්‍රාත් නියෝගය අත්හිටවූ අභියාචනාධිකරණ නියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

රාජ සභාව ඩෝසර් කිරීම : කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ මහ‍ෙස්ත්‍රාත් නියෝගය අත්හිටවූ අභියාචනාධිකරණ නියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 2020 වසරේ ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහ‍ෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබූ වරෙන්තුව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අත්හිටුවා තිබේ.

එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ නියෝගයට අත්හිටුවමින් නියෝග ලබා දී තිබුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගනිමින් නගරාධිපති තුෂාර සංජීව විතාරණ එකළ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්ද සිදු කර තිබිණි.

කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහෙස්ත්‍රාත් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් 2020 අගෝස්තු 10 වනදා දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබිණි.

එසේම කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට රටින් පිටවීම වැළක්වාලමින් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

මෙම පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.

එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබිණි.

ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිට උපදෙස් දෙන ලදී.

විමර්ශනයේ සෙසු සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු, වැඩ පාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරුරාය.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට එරෙහිව එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්නද අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.

එමෙන්ම මෙය කඩා දැමීමට එරෙහිව විශාල හඬක් ගෙන යමින් ඊට එරෙහිව ජනතාව දැනුවත් කරමින් මහා සංඝරත්නය ඇතුළු අදාළ අංශවල දෑස් විවර කරවනු ලැබුවේද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න විසිනි.

කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුප්‍රසිද්ධ මයිල්ගස් කතාවද කරළියට එන්නේ මෙම සිදුවීම් පදනම් කරගෙණය. ඔහු එහිදී කියා තිබුණේ තමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකයා ලෙස සිටින තුරු මෙම ගොඩනැගිල්ල කඩා දැමීම පාදක කරගෙන ඊට සෘජුවම සම්බන්ධ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ එක මයිල් ගහකට හානියක් වීමට ඉඩ තබන්නේ නැති බවය.

Facebook
Twitter
LinkedIn