ආණ්ඩුව EPF කොල්ලකෑම – සියලු තතු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරෙක් හෙළි කරයි

. ආණ්ඩුවේ නිරීක්ෂණ වැරදියි
. EPF අරමුදලට කෝටි 4,900ක බදු වදිනවිට වාණිජ බැංකුවලට කෝටි 200යි
. 2038 වනවිට EPF කොල්ලය කෝටි 27,400යි
. 2045 වනවිට EPF කොල්ලය කෝටි 115,000යි

දේශීය ණය මුදල් ප්‍රශස්ති කරණයේ නාමයෙන් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් මත ආණ්ඩුව දියත් කර තිබෙන දැවැන්ත කොල්ලකාරී කප්පාදුව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරෙකු වන ආචාර්ය ඩබ්.ඒ විජේවර්ධන කරුණු සහිතව හෙළිදරව් කර තිබේ.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළි කර ඇත. ඒ සම්බන්ධ සම්පූර්ණ ලිපිය අද (18) නිකුත් කළ පුවත්පතේ “අර්ථසාධක අරමුදලට බර පැටවීම” යන සිරස්තලයෙන් පල කර තිබූ අතර එය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත පල කෙර්.

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමෙහි එක් කොන්දේසියක් වන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර එම ණය තිරසාර කර ගැනීමයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු කොන්දේසියක් පැන වූයේ නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල මුදල් ආයෝජනය කර ඇති විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකා රජයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසාර කිරීම සඳහා විදේශීය ණය හිමියන් මෙන්ම දේශීය ණය හිමියන් ද සහභාගී විය යුතු බවය. එම අදහස් සමගම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධ කාරණය පෙරට පැමිණියේය. ඒ අනුව, ශ්‍රී ලංකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු විය.

රජය දේශීය වශයෙන් ණය රැස් කරන එක් උපකරණයක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කරයි. ඒවා වසරකට වැඩි කාලයක දී කල් පිරෙන සේ නිකුත් කෙරේ. භාණ්ඩාගාර බිල්පත් යනු දේශීය වශයෙන් ණය රැස් කරන තවත් උපකරණයකි. ඒවා නිකුත් කරන්නේ වසරක කාලයක් ඇතුළත කල්පිරෙන පරිදිය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකානු ඩොලර්වලින් නිකුත් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඒවා නිකුත් කර ඇති බැවින් ඒවාත් දේශීය ණයවලට අයත් වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ දළ මුදල් හිඟය දැනට තිබෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 40 ක පමණ අගයකය. එම අගය ක්‍රමානුකූලව සියයට 13 දක්වා අඩු කළ යුතුය යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් කොන්දේසියකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව මේ වන විටත් ගෙන ඇති එක් ක්‍රියාමාර්ගයක් වන්නේ බදු වැඩි කිරීම හරහා ආදායම ඉහළ නංවා ගැනීමය. ඒ අනුව, මෑත කාලයේ දී ආදායම් බදු ඉහළ නැංවුණු අතර එකතු කළ වටිනාකම් මත බදු වෙනස් කර බදු ආදායම තවත් වැඩි කර ගැනීම සඳහා මේ වන විට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙපරිදි බදු ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රියා කළද දළ මුදල් හිඟය සියයට 13 මට්ටමට ගෙන ඒමට හැකි වන්නේ නැත. එබැවින් දේශීය ණය ගෙවීම කල් දමා ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සඳහා යොදා ගත් සංකල්පය වූයේ දේශීය ණය ප්‍රශස්තකරණය යන්නයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන්නෙන් එය වෙනස් වේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සිදු වන්නේ ශ්‍රී ලංකාව සිය විදේශ ණය හිමියන් සමග සාකච්ඡා කර එම ණය ගෙවීම කල් දමා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි. එහෙත් දේශීය ණය ප්‍රශස්තකරණයේදී සිදු වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ සංවර්ධන බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇති ණය හිමියන් තමන් ආයෝජනය කර ඇති මුදල් නැවත අය කර ගැනීම යම් කාලයකට පමා කිරීමට එකඟ බව රජයට දැනුම් දීමය. එහිදී ණය හිමියන් කටයුතු කරන්නේ තමන්ට විය හැකි අලාබය අවම කර ගැනීමටය. එනම්, ශ්‍රී ලංකා රජය දේශීය ණය මුළුමනින්ම නොගෙවා සිටිය හොත් ඉන් සිදු විය හැකි අලාබය අවම කර ගැනීම සඳහා දේශීය ණය හිමියන් මෙම ණය ප්‍රශස්තකරණයට සහභාගී වීමය.

මෙහිදී වර්ග දෙකක ණය හිමියන් සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය අදාළ කිරීම සිදු වේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති මුදල් කල් දමා ගැනීමත් විශ්‍රාම වැටුප් අරමුදල් සහ අර්ථ සාධක අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරනු ලැබ ඇති මුදල්වලට පමණක් මෙම ණය ප්‍රශස්තකරණය සීමා කිරීමත් කර තිබේ. ඉහත කී අරමුදල්වල මුදල් අහිමි වීමක් සිදු වන්නේ ද යන්න ගැන සමාජයේ දැඩි කතාබහක්ද ඇති විය. මේ ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරිණි. එසේම මෙම දේශීය ණය ප්‍රශස්තකරණයට සම්බන්ධ වීමට අකැමැති විශ්‍රාම වැටුප් හා අර්ථ සාධක අරමුදල් සඳහා සියයට 30 ක ආදායම් බද්දක් පැනවීම සඳහා පාර්ලිමේන්තුව විසින් දේශීය ආදායම් පනතට සංශෝධනයක් ද ගෙන එනු ලැබීය.

ආණ්ඩුවේ නිරීක්ෂණ වැරදියි

දැනට විශ්‍රාම වැටුප් හා අර්ථ සාධක අරමුදල්වලින් අය කෙ​රෙන්නේ සියයට 14ක බද්දක් පමණි. ආණ්ඩුවේ තර්කය වූයේ වාණිජ බැංකුවක් ගෙවන සියයට 30 ක බදු ප්‍රතිශතය සමග සැසඳීමේදී සියයට 14 ක බද්ද සහනදායී එකක් බවය. එය ආණ්ඩුවේ වැරදි නිරීක්ෂණයකි. විශ්‍රාම වැටුප් හා අර්ථ සාධක අරමුදල් සියයට 14 ක බදු මුදලක් ගෙවන්නේ ඒවා උපයන මුළු දළ ආදායමෙනි. එහෙත් වාණිජ බැංකු සියයට 30ක බදු මුදලක් ගෙවන්නේ ඒවා උපයන ශුද්ධ ආදායමෙනි. අර්ථ සාධක අරමුදල් ඒවායෙහි සාමාජිකයන්ට ගෙවන පොලිය, බදු අය කළ හැකි ආදායම ගණන් බැලීමේදී අඩු කිරීමට ඉඩ දෙන්නේ නැත.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිර්වචනය අනුව එය ලාබ බෙදා හැරීමක් වන හෙයිනි. ලාබ බෙදා හැරීම බද්දෙන් අඩු කර ගැනීමට ඉඩ දීමක් සිදු වන්නේ නැත. වාණිජ බැංකු තමන්ගේ තැන්පතුකරුවන්ට ගෙවන පොලී මුදල සැලකෙන්නේ බැංකුවට අරමුදල් සැපයූ අයට ගෙවූ මුදලක් වශයෙන් මිස ලාබ බෙදීමක් වශයෙන් නොවේ. ඒ අනුව, බදු අය කළ හැකි ආදායම ගණන් බැලීමේදී තැන්පතු හිමියන්ට ගෙවන පොලිය අඩු කිරීමට ඉඩ දේ.

EPF අරමුදලට කෝටි 4,900ක බදු වදිනවිට වාණිජ බැංකුවලට කෝටි 200යි

මේ තත්ත්වය තවදුරටත් නිදසුනක් මගින් පැහැදිලි කර ගත හැකිය. ඒ අනුව, 2022 දී සේවක අර්ථ සාධක අරමුදලේ සමස්ත දළ ආදායම රුපියල් බිලියන 370ක් පමණ විය. එම මුදල සඳහා රුපියල් බිලියන 49ක ආදායම් බදු මුදලක් ගෙවුවේය. ඊට සාපේක්ෂව ඒ හා සමාන දළ ආදායමක් ඉපයූ වාණිජ බැංකුවක් ආදායම් බදු වශයෙන් ගෙවා තිබුණේ රුපියල් බිලියන 2 ක් පමණ මුදලකි. අර්ථසාධක අරමුදල් මගින් සියයට 14 ක ආදායම් බද්දක් ගෙවීම සහනදායී එකක්ය යන ආණ්ඩුවේ අදහස නිවැරදි එකක් නොවන බව මෙයින් පැහැදිලි වේ.

මෙහි ප්‍රතිවිපාකය නම්, අර්ථසාධක අරමුදල් ඉතා ඉහළ බදු මුදලක් ගෙවීමය. මගේ ගණන් බැලීම අනුව, අර්ථසාධක අරමුදල 2022 දී සියයට 490 ක බද්දක් ගෙවා තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුව වැරදි උපකල්පනයක් මත මෙම තීන්දුව ගෙන එය ක්‍රියාත්මක කරමින් සිටින බවය. එහිදී සේවක අර්ථ සාධක අරමුදල් හා වෙනත් විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර ආණ්ඩුවට ලබා දී අලුත් බැඳුම්කර ලබා ගෙන තිබේ. එහිදී ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවට පැවරූ බැඳුම්කර අවුරුදු 12 ක් ඇතුළත නැවත ගෙවන අයුරින් අලුත් බැඳුම්කර නිකුත් කිරීමය. එසේ අලුතින් නිකුත් කරන බැඳුම්කර සඳහා ගෙවන පොලී අනුපාතය වන්නේ 2026 අවසානය දක්වා සියයට 12ක්ද 2038 දක්වා සියයට 9 ක්ද වශයෙනි. වෙළෙඳපොළේ පොලී අනුපාත කවර ලෙසින් වෙනස් වුවද මේ අරමුදල්වලට හිමි වන්නේ ඉහත සඳහන් කළ පොලී අනුපාතයන්ය.

2045 වනවිට EPF කොල්ලය කෝටි 115,000යි

සේවක අර්ථසාධක අරමුදලේ පාලනය පිළිබඳ වගකීම පැවරී තිබෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයටය. මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ දී මුදල් මණ්ඩලයට බැඳියාවන් අතර ගැටුමක් ඇති වී තිබෙන බව පෙනේ. මන්ද, යම් විශ්‍රාම වැටුප් අරමුදලක් හෝ අර්ථ සාධක අරමුදලක් හෝ දේශීය ණය ප්‍රශස්තකරණයට සම්බන්ධ නොවන්නේ නම් ඒවා මත සියයට 30 ක ආදායම් බද්දක් පැනවිය යුතුය යන තීරණය ගත්තේත් මුදල් මණ්ඩලය වන නිසාය. ඒ අනුව, දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී නොවුණ හොත් සේවක අර්ථසාධක අරමුදල සඳහා ද එකී සියයට තිහේ ආදායම් බද්ද පැන වේ. මුදල් මණ්ඩලය ප්‍රකාශ කරන්නේ වෙනත් තේරීමක් නොතිබූ බැවින් දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී වීමට තීරණය කළ බවයි.

එසේ සහභාගී වීම නිසා රුපියල් බිලියන 2668 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ආණ්ඩුවට පවරා ඒ වෙනුවට අලුත් බැඳුම්කර ලබාගැනීමට හැකිවී තිබේ. ඊට අදාළව මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයෙහි දැක්වෙන්නේ දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී නොවී සියයට 30 ක ආදායම් බද්දක් ගෙවනවාට වඩා ඊට සහභාගී වීම මගින් අරමුදලට වාසියක් ලැබෙන බවය. එය නොමග යවන සුළු ප්‍රකාශයකි. දැනට භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුවට සියයට 14 ක් යටතේ ලැබෙන පොලී අනුපාතයත් ණය ප්‍රශස්තකරණය යටතේ අලුත් බැඳුම්කරවලට ලැබෙන පොලී අනුපාතයත් සංසන්දනය කිරීමේදී එය පැහැදිලි වේ. එසේ සැසඳීමේ දී 2024 – 2038 කාලයේ දී සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 274 ක මුදලක් අහිමි වේ. එම මුදල සේවක අර්ථසාධක අරමුදලට වාර්ෂිකව ලැබෙන්නේ නම් ඒවා යළි ආයෝජනය කිරීමට පිළිවන.

සියයට 8 ක පොලී අනුපාතිකයකට එම මුදල් ආයෝජනය කරන බවට උපකල්පනය කළ හොත් 2045 වනවිට මෙම අරමුදල විසින් අහිමි කර ගනු ලබන ආදායමේ වටිනාකම (අනාගත වටිනාකම) රුපියල් බිලියන 1150ක් පමණ වේ. එය දැනට එම අරමුදලේ සාමාජිකයන්ගේ ශේෂයෙන් තුනෙන් එකක ප්‍රමාණයකි. ඒ අනුව, අපට කිව හක්කේ මේ දේශීය ණය ප්‍රශස්තකරණය නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ මුළු ආදායමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් රජයට බද්දක් වශයෙන් ගෙවා තිබෙන බවය.

මේ පසුබිමේ බොහෝ ආර්ථික විශේෂඥයන් පවසන්නේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත දෝෂ සහගත බවය. ඊට හේතුව, රට ආර්ථික අර්බුදයක පවතින විටෙක එයින් ගොඩ ඒම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තිවල බර රටේ සියලු පුරවැසියන් දැරිය යුතු වුවත් මේ දේශීය ණය ප්‍රශස්තකරණයේ දී එම බර සේවක අර්ථසාධක අරමුදල මත පටවා ඇති බවකි. ජීවිතයේ මහලු වියේ දී ප්‍රයෝජනයට ගැනීම පිණිස පවතින සේවක අර්ථසාධක අරමුදල් මත මේ ආකාරයට සියලු බර පැටවීම ඉතාම අසාධාරණ බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.”

Facebook
Twitter
LinkedIn