සමන්ත විද්‍යාරත්නගේ විදුලි ව්‍යාපෘතියෙන් ආණ්ඩුව කලබල වේ

සමන්ත විද්‍යාරත්නගේ විදුලි ව්‍යාපෘතියෙන් ආණ්ඩුව කලබල වේ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරකයින් “අඳුරෙන් එලියට” නමින් ක්‍රියාත්මක කළ දුප්පත් පවුල්වලට සූර්ය විදුලි පැනල් ලබා දීමත් සමඟ බෙහෙවින් කලබලයට පත් වූ ආණ්ඩුව අඩු ආදායම්ලාභී නිවාස 25,000කට සූර්ය විදුලිය නොමිලේ ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබීය.

ආණ්ඩුවේ දිනමිණ පුවත්පත 15 වෙනිදා තම ප්‍රධාන සිරස්තලයෙන් දක්වා තිබුණේ “අඩු ආදායම් නිවාස 25000කට සූර්ය විදුලිය නොමිලේ – අඩක් නිම කළ නිවාස 11,000 දැනටමත් තෝරාගෙන” යනුවෙනි. අඳරෙන් එලියට වැඩ සටහන යටතේ දිළිඳු පවුල් 200කට සූර්ය විදුලි කට්ටල ලබාදීම අගෝස්තු 13 වෙනි දින සිදුකර තිබිණි. ඉන් පසුව ආණ්ඩුව තමන්ගේ ප්‍රචාරය සඳහා දිනමිණ පුවත්පතේ පළකර තිබූ ප්‍රවෘතියෙන් වැදගත් කරුණු කීපයක් අනාවරණය වේ.

එයින් ප්‍රධානම වන්නේ ආණ්ඩුව කියන පරිදි සූර්ය විදුලිය ලබාදීමට සුදුසුකම් ලැබූ පිරිස් 2015 – 2019 අතර කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 15ක් ආශ්‍රිතව තේරා ගන්නා ලද බව ය. එහිදී පවුල් 11,000ක් තෝරා ගෙන ඇති අතර මේ දක්වා ඔවුන්ට සූර්ය විදුලිය ලබා දී නැත. එසේ තිබියදී පවුල් 14,000ක් තෝරා ගෙන මෙසේ සූර්ය විදුලි කට්ටල ලබා දෙන බව ප්‍රචාරය කර තිබේ.

අඳුරෙන් එලියට සූර්ය ආලෝක කට්ටල ලබාදීම පිළිබඳව සමන්ත විද්‍යාරත්න ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබිණි.

පවුල් 200 ක කුප්පි ලාම්පු ඉවතට – සූර්ය බලයෙන් පවුල් 200 කට ආලෝකය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 214,900 කි. ඉන් පවුල් 28,899 ක් තවමත් ආලෝකය ලබා ගනු ලබන්නේ කුප්පි ලාම්පු එළියෙන් බව 2021 බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ සංඛ්‍යා දත්ත වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපනය හදාරන දරුවන් සිටින පවුල් 200ක් තෝරා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා කුඩා සූර්ය පැනලයක් ,බල්බයක් සහිතය උපාංග කට්ටලයක් පළමු කණ්ඩායම් සඳහා අප අගෝස්තු 13 දින රිදීමාලියද්ද නේත්‍රා පරිගණක පාසලේදී බෙදා දෙනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සුදත් අල්මේදා මහතාද ඇතුළු ශ්‍රී ලාංකීය හිතවතුන් ක්‍රියාත්මක කරන “අඳුරෙන් එළියට” වැඩසටහන මඟින් මේ සඳහා සුවිශේෂ දායකත්වය ලබාදුන් අතර , මෙහි සංවිධාන දායකත්වය නේත්‍රා පරිගණක පාසැල හා විමුක්ති සංසදය විසින් සිදු කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn