අවුරුදු 05ට අඩු දරුවනට අවශ්‍ය පෝෂණය නැහැ – ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර

අවුරුදු 05ට අඩු දරුවනට අවශ්‍ය පෝෂණය නැහැ – ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර

ශ්‍රී ලංකවේ වයස අවුරුදු 05ට අඩු දරු දරුවන්ගෙන් 15%කගේම උසට සරිලන බර නොමැති බව මහනුවර ගෙලිඔය ඹුරුතගහමුල පැවැති වැඩසටහනට ප්‍රධාන දේශණය පවත්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර පවසයි.

“අපි ආහාර ගන්නේ නිකම් බඩ පිරෙන්නම විතරක් නෙවෙයි. ආහාරවලින් අපේ ශරිරයට අවශ්‍ය ශක්තිය ලැබෙන පෝෂණය ලැබෙන්න ඕන. අපේ ශරීරයේ අවයව ක්‍රියාත්මක වීමට අවශ්‍ය විටමින් වර්ග ඛණිජ වර්ග ඇතුළු සියලු දේ ලබා දෙන්නේ අපි ගන්නා ආහාරවලින්.

අපි ගන්නා ආහාරවල පෝෂණය නිසි ලෙස නොතිබුණොත් විවිධ ලෙඩ රෝගවලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌණ පෝෂණය. කුඩා දරුවන් අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා නොගත්තොත් වයසට සරිලන උසක් නැති වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 9%ක්ම වයසට සරිලන උසක් නැහැ. එයට අමතරව අවුරුදු 05ට අඩු දරුවන් අතර වයසට අවශ්‍ය බර නොමැති දරුවන් 10%ක් සිටිනවා. එයටත් අමතරව උසට සරිලන බරක් නොමැති දරුවන් 15%ක් වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර සිටිනවා. ‍

කුඩා දරුවන් තමයි රටේ අනාගතය වෙන්නේ දරුවන් අතර නිසි පෝෂණයක් නොමැති වුවොත් ඒකේ අනිසි විපාක තව අවුරුදු 10ක් 15ක් යද්දී දැක ගන්න පුළුවන් වෙයි.” යැයිද ඇය මෙහිදි සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn